”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක

පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව මහ පාරට පැමිණ අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ඔහු කියන්නේ දෙවෙනි ජනතා නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් බවයි ඔහු කියන්නේ.

“අපි අපේ ජීවිත කාලය තුළ දකින්නට ලැබුණ විශාලම ජනතා නැගිටීම සිදුකරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ නම් සුදු වෑන් කල්ලි මෙහෙයවූ මර්දනකාරී නායකයා විධායක ජනාධිපති ලෙස සේනාධිනායක ධුරය දරන ලද කාලයේ දී. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පාලනයට පාර්ලිමේන්තුවේ තුන්නේ දෙකේ බලයක් සහිත ඇමති මණ්ඩලයක්ද තිබුණා. මෙයින් තහවුරු වූණේ මොකක්ද, බලය තිබෙන්නේ ජනතාධිපති ධුරයේ හෝ හමුදාව හෝ පොලීසියේ නොවන බව. ඇත්ත බලය ඇත්තේ ජනතාව ලඟ බව. ඒක තමයි එම නැගිටීමෙන් ඔප්පු කළේ.

එයින් ලබාගත නොහැකි වූ සම්පූර්ණ ජයග්‍රහණය හමුවේ බොහෝ දෙනෙක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටියත් විසිරී තිබෙන ජන බලය සංවිධානාත්මකව එක්කරමින් දෙවෙනි නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීමෙන්. එය ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. ඒ නිසා බොහෝ දෙනා කලබල වී සිටයත් ජාතික ජන බලවේගය කළබල වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා හුදකලා අරගලවලින් ජයග්‍රහණ ලබා ගත නොහැකි බව. සංවිධානගත වී අවසන් ජයග්‍රහණය ලබා ගැනීමේ අරගලයට අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයෙන් විශාල බලයක් ලබා දිය හැකියි” යි ඔහු පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගමු!’ යනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන එහි ආසන සමුළු පිහිටුවීම අකුරැස්සෙන් ආරම්භ කළ අවස්ථාවේ දී.

“විධායක ජනාධිපති ගෝඨාභයට රටින් යන්න වුණේ ජනතාවගේ බලය නිසා. අද ඇමතිවරයෙකුට ගමට යන්න බෑ, මලගෙදරකට යන්න බෑ. ඒ තමයි ආණ්ඩුවත් ආණ්ඩුවේ පාලකයන්ටත් තියෙන ජනතා විරෝධය.

රනිල් කියන්නේ බලය එන්ජෝයි කරන කෙනෙක්. මෙයා තෙතමනයක් නැති වියළුණු නායකයෙක්. එහෙම කෙනෙක්ව බලයේ තියාගෙන තව අවුරුදු දෙකකට ටිකක් වැඩි කාලයක් මේ රට මෙහෙම ම ගෙනියනවද, එහෙම නැත්නම් සංවිධානය වෙන්න අපිට තියෙන පාරවල් දෙකෙන් එකක් තෝරාගෙන මේ පාලනය පරාජය කරනවද. අපි මේ පාරවල් දෙකටම ලැස්ති වෙමු. එකක් තමයි පාරට බැහැලා උද්ඝෝෂණ හරහා මේ දුර්දාන්ත පාලනය පලවා හැරලා බලය ගන්න. ඒක ටිකක් සංකීර්ණයි. දෙක පාරට බැහැලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දෙට යන එක. මේ නිශ්චිත මොහොතේ අපි ජාතික ජන බලවේගය ලෙස තෝරාගෙන තියනවා දෙවැනි පාර.

ජනතාව අතේ තමයි මේ බලය තියෙන්නේ. ඒ නිසා අරගල කරලා දිනාගන්නා ඡන්දයේ දී හැම ඡන්ද පෙට්ටියක්ම ජයග්‍රහණය කරන ඇත්තටම මහජන ඡන්දයෙන් පුරවන්න අපි එකතු වෙලා සැලසුම් හදන්න ඕනේ” යි මන්ත්‍රී අනුර දිසානායක කියනවා.

POPULAR

Recent articles