මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ පත්කර තිබෙනවා. ඒ එහි හිටපු සභාපති එස්. අමරසිංහ වෙනුවටයි. නව සභාපතිවරයා පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත් බව එහි මාධ්‍ය අංශය පවසනවා.

සුපුන් එස්. පතිරගේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන්, පාරිසරික විද්‍යා සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත අයෙක් බවයි කියන්නේ. මේවනවිට ඔහු සබරගමුව විශ්වවිද්‍යලය සහ ජපානයේ කියෝෂ් විශ්වවිද්‍යාලය හා එක්ව පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා.

වැඩ භාරගැනීමෙන් අනතුරුව අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි පස් අවුරුදු කාලය සඳහාවන සංයුක්ත සැලැස්ම (Corporate Plane) අනුව කටයුතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කෙටිකාලීන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එලෙසම පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ආර්.ආර්. රූපසිංහ, මධ්‍යම පරිසර අධිකාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ නව සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන සහභාගී වූ බවයි පැවසෙන්නේ.

POPULAR

Recent articles