සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31) සඳුදා දිනයේ ආරම්භ කර තිබුණා.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර, ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ බත්තරමුල්ල පැලවත්ත, බුද්ධදාස මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය දක්වා 2km පමණ දුර ගෙවා පැමිණ මෙම කටයුත්ත ආරම්භ කළ බවයි කියන්නේ.

පරිසර හිතකාමී නගරයක් සහ සෞඛ්‍ය සම්පන්න නගරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව එහි සංවිධායකයන් පවසනවා. මාර්ග තදබදය අවම කිරීම, ප්‍රධාන මාර්ගයට අමතරව නගරයේ ඇති අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණක් බවයි පැවසෙන්නේ.

පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බව පැවසෙනවා.

පාපැදියෙන් සේවයට පැමිණෙන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට ආවරණ සහිතව වෙනම ම ස්ථානයක් අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙනවා. එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සලසා තිබෙන බව පැවසෙනවා. පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ද අවසරය හිමිවන බව කියනවා.

#prasannaranathunga#UDA#A5#a5news#a5newssrilanka#news#NewsUpdate#NewsAlert#SriLanka#hotnews#LatestNews#Alert#sinhalanews#srilankanews#Fastnews

POPULAR

Recent articles