කෘෂිකර්මයේ අර්බුද හැමතැනම !

කෘෂිකර්මයේ අර්බුද හැමතැනම !

සහල් සඳහා නව පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය රජය විසින් පෙරේදා දින නිකුත් කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ නියෝග මත නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් මිළ ගණන් මාර්තු 28 දින සිට බලපැවැත්වෙන බව ස‍‍ඳහන්.

ඒ අනුව සුදු හා රතු කැකුළු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 93 ක්, සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 96 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 98 ක් සහ කීරිසම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120 ක උපරිම මිලක් මෙම ගැසට් පත්‍රයෙන් නියම කොට තිබෙනවා. එම මිල ගණන්වලට වැඩි මිල ගණන්වලට වෙළදාම් කිරීම, වෙළදාම් සඳහා ඉදිරිපත් කිරීම කිසිදු නිශ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් සිදු නොකළ යුතු බවද එහි සඳහන්.

එසේම පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙ‍ළෙදුන් සොයා වැටලීම් කටයුතු සිදුකිරීමට ද කටයුතු යොදා ඇති බවයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කිසිදු ආකාරයකින් සහල් මාෆියාවකට රජය යටවී නොමැති බවයි. පසුගිය රජය සහල් ව්‍යාපාරිකයින් සමඟ පැමිණි එකඟතාවයකට අනුව සහල් මිල ඉහල දැමීමට වත්මන් ආණ්ඩුවට සිදුවී ඇති බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ. මෙහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දැමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සහල් හිඟයක් ඇති නොවන පරිදි සහල් මිල වැඩිවීම පාරිභෝගිකයා ලබාගත් ජයග්‍රහණයක් බවයි.

POPULAR

Recent articles