”කලටි පොල් කෑවේ නෑ, ඒක බොරුවක්” – මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව ඊයේ (21) මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වූ බව මාධ්‍ය වෙතින් ප්‍රකාශ කළා. ඊට පෙර කුසගින්න නිසා පාසලේ බුද්ධ පූජාව ආහාරයට ගත් දරුවන් දෙදෙනෙකු ගැන මෙන්ම, මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද තොරතුරු වාර්තා වුණා. පාසල් දිවා ආහාරයට කළටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව සඳහන් වුණේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින්.

පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවක නිරතවන බව සඳහන් කර තිබුණා. පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ලබා ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින් බවයි කියවුණේ. පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙන බව සඳහා වුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන මෙම කනිෂ්ඨ ද්වීතියික පාසල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය සඳහා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙන පාසලක්.

මේ පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීමත් ඒ හා සමඟ දරුවන්ගේ දෛනික ආහාර අවශ්‍යතා ගැන සමාජයේ අවදානයක් ඊයේ දිනයේ දී ඇතිව තිබුණා.
අද (22) උදෑසනම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වන ඒ. වජිර රණරාජා පෙරේරාගේ මාධ්‍ය නිවේදනයක් මාධ්‍ය ආයතන වෙත ලැබී තිබුණා. එම ලිපිය මාධ්‍ය වෙත යවා තිබුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ඒකකයෙන් වීම විශේෂයක්.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ කලාප අධ්‍යක්ෂවරයා කළ සොයා බැලීමකදී එවැනි සිදුවීමක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කිසිඳු පාසලක සිදුවී නැති බවයි. එම නිසා එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.

POPULAR

Recent articles