බර්කිනා ෆාසෝහි හමුදාව රටේ බලය අල්ලා ගනී

බර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයකින් ජනාධිපති රොච් කබෝරේ බලයෙන් පහකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා හමුදා භාරයට ගෙන ඇති බව එරට කැරලිකාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි.

ව්‍යවස්ථාව අත්හිටුවා ආණ්ඩුව විසුරුවා හැර ඇති බව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ බර්කිනා ෆාසෝ හමුදා ප්‍රකාශකවරයා නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම රටේ දේශසීමා වසා දැමූ බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ බලය ලබා ගැනීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව සිදු කර ඇති අතර රඳවාගෙන සිටින අය ආරක්ෂිත ස්ථානයක සිටින බවයි.

රටපුරා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ද හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

කෙසේ වුවද ජනාධිපතිවරයා සිටින ස්ථානය පිළිබඳ පරස්පර වාර්තාවලින් පසුව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානීවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ ජනාධිපති කබෝරේ හමුදා පාලනය යටතේ සිටින බව ඔවුන් දැන සිටි බවයි.

අප්‍රිකානු සංගමය බර්කිනා ෆාසෝහී බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආයුධ බලයෙන් බලය අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස හෙළා දකින බවයි.

හමුදා භාරයට ගෙන ඇති බර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා හා අනෙකුත් රජයේ නිලධාරීන් වහාම නිදහස් කරන ලෙසත් එරට ව්‍යවස්ථාවට සහ සිවිල් නායකත්වයට ගරු කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කැරලිකාර හමුදාවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපති කබෝරේ 2015 වසරේදී පළමු වරට බර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලයට පත්වු අතර පසුව ඔහු නැවත 2020 වසරේදී බලයට පත්වීමෙන් පසු ඔහුට විරුද්ධව දිගින් දිගටම විරෝධතා පැවැත්වුණා.

ඒ හමුදා සොල්දාදුවන් සහ සිවිල් වැසියන් ඝාතනය කළ බවට ජනාධිවරයාට චෝදනා කරමිනුයි.

POPULAR

Recent articles