ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනපති එකඟවෙයි

රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ ඊයේ (08) පැවැති සාකච්ඡාවේදී යි. අදාළ සාකච්ඡාව පැය දෙකක් පමණ තිබූ බවයි කියන්නේ.

සර්ව පාක්ෂික සමුළුවට සමගාමීව වියතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ සමුළුවක් ද කැඳවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබුණා. එම සර්ව පාක්ෂික සමුළුව මේ මස අග දී පමණ පැවැත්වෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සා සාකච්ඡා වූ බව ඔහු පවසනවා.

විදුලි, ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, පොහොර අර්බුදය මෙන්ම ආහාර අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවයි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් ඒ පිළිබඳව සිය විරෝධය ද එහිදී පළ කළ බව ඔහු පවසනවා.

අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, චාමර සම්පත් දසනායක සහ සුරේන් රාඝවන් යන අය මෙම සාකච්ඡාවට එක්ව තිබුණා.

POPULAR

Recent articles