”පිටි මිල වැඩිවෙන්න හේතුවක් නෑ” – වෙළඳ ඇමති

තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටිනවා.

එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු බව කී ඇමතිවරයා එසේ නොකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් පියවර ගන්නා බව අදාළ පාර්ශව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද පවසනවා.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජා ඇල පිහිටි සිය කාර්යාලයේ දී ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී යි.

පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ තමන් ඉකුත් සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තිරිඟු තමන් සතුව ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවත්, තුර්කිය හා ඩුබායි වෙතින් ඇනවුම් කර ඇති තිරිඟු තොගයක් මෙම මස 15 වනදා වන විට මෙරටට ලැබෙන බවත් ආනයනකරුවන් පැවසූ බවත් ඇමතිවරයා සඳහන් කර සිටිනවා.

එබැවින් ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා ආනයනය කළ තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නොමැති බැවින් පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව පෙන්වා දෙනවා.

POPULAR

Recent articles