උදේ දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙකුට නොතීසි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වෙත අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ මෙම පෙත්සම් දෙක ලබන 13 වනදා යළි කැඳවීමට යි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සැලකිල්ලට ගැනුණා.

මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ නිතීඥ විජිත කුමාර හා නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසිනුයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, සාලිය පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසයි.

කෙසේ වුවද සනත් නිශාන්ත අද (08) උදෑසන ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

POPULAR

Recent articles