චීන පොහොර සමාගම ලංකාවට එරෙහිව UN යයි

කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ආරවුල් ගත චීනයේ Qingdao Seawin Biological Group Co., Ltd සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) වෙතට ඒ ආරවුල පිළිබඳව විධිමත් පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වෙනවා.

Qingdao Seawin Biological Group Co., Ltd, දේශීය නියෝජිතයෙකු හරහා මෙරට මාධ්‍ය වෙත එවන ලද විද්‍යුත් තැපෑලකින් කියා ඇත්තේ, සමාගම සහ ශ්‍රී ලංකාව මතභේදයට තුඩු දී ඇති පොහොර සඳහා ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට මොහොතකට පෙර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

“2022 ජනවාරි 5 වන දින සීවින් සමාගම සහ ගැනුම්කරුවන් අතර ණයවර ලිපි (LC) වාරණ නියෝග නඩු විසඳීමේ නියමයන් වෙත ළඟා වීමට පෙර සමාගම විසින් FAO ය සහ ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතිය (International Plant Protection Convention- IPPC ) මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. එය විමර්ශනයට මැදිහත් වීමට ජාත්‍යන්තර ආයතන සඳහා ඉල්ලුම් කර ඇත. ඉහත ජාත්‍යන්තර ආයතන ද සීවින් වෙත විද්‍යුත් තැපෑලෙන් පිළිතුරු දුන් අතර අවශ්‍ය නම් ඔවුන්ට විමර්ශනයට මැදිහත් විය හැකිය” යි සීවින් සමාගම පවසා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

චීන පොහොර සමාගමට අවශ්‍ය වන්නේ දෙපාර්ශවයේම පාඩු වළක්වා ගැනීම සඳහා තාක්‍ෂණික උපදේශන හරහා හැකි ඉක්මනින් FAO මැදිහත් වී වරදවා වටහාගැනීම් ඉවත් කිරීමට බවයි කියන්නේ.

“මේ වන විට ප්‍රකාශයට පත් කරන ලද හරිත කෘෂිකර්මයේ උපායමාර්ගික ප්‍රතිපත්තිය නොසලකා ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්ම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සහ ජාත්‍යන්තර බලධාරී ආයතනවල පරීක්ෂණ වාර්තා හේතුවක් නොමැතිව ප්‍රශ්න කරන වගකීම් විරහිත විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක් තවමත් ශ්‍රී ලංකාවේ සිටිති. ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලාංකීය ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යයනයෙන් සහ දැනුමෙන් රටට සහ ජනතාවට දායක නොවන්න” යි සීවින් බයෝ ටෙක් සමාගම සිය විද්‍යුත් තැපෑලෙන් පවසා ඇති මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට (IPPC) අනුව පළිබෝධ පැතිරීම පාලනය කිරීමට එක් එක් සාමාජික රාජ්‍යයට ඇති අයිතියට ඔවුන් ගරු කරන බව FAO වෙත සිය පැමිණිල්ලේ දී සීවින් පොහොර සමාගම පවසා තිබෙනවා. සමාගම සඳහන් කර ඇත්තේ එක් එක් සාමාජික රාජ්‍යයේ ශාක සනීපාරක්ෂාව තාක්‍ෂණිකව සාධාරණ සහ විනිවිද පෙනෙන විය යුතු අතර ජාත්‍යන්තර වෙළඳාමට වෙස්වළාගත් සීමාවන් නොවිය යුතු බවයි.

ප්‍රතික්ෂේප කරන ලද පොහොර පිළිබඳ මෙරට ජාතික ශාක නිරෝධායන සේවයේ (NPQS) සවිස්තර පරීක්ෂණ වාර්තාව මෙන්ම ප්‍රතිඵල පැහැදිලි කිරීමේ විද්‍යාත්මක පදනම ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස සීවින් සමාගම FAO වෙතින් ඉල්ලා සිටින බවයි කියන්නේ.

POPULAR

Recent articles