5G තාක්ෂණය ලැබුණු පසු විශාල වැඩ කොටසක් කිරීමට හැකි වෙනවා” – නාලක ගොඩහේවා

ඉදිරියේදී මෙරටට 5G තාක්ෂණය ලැබෙන බවත් ඉන් පසුව විශාල වැඩ කොටසක් කිරීමට හැකි වන බවත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍යා බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

“සමහර වෙලාවට කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ වෙන කොහේ හරි ඉඳලා සැලසුම්කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් තත්වයට තාක්ෂණය ඉස්සරහට අපට එනවා. දැනට තිබෙනවා 4G තාක්ෂණය. ලංකාව පුරාම 90% ක් විතර තිබෙන්නේ එම තාක්ෂණය. ඊ ළගට 5G තාක්ෂණය එනවා. එය ආවට පස්සේ දැනට කොළඹ සහ ප‍්‍රදේශ කිහිපයක අපි එය පාවිච්චි කර බලනවා. එම තාක්ෂණය ආවහම විශාල වැඩ කොටසක් අපට කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය පාරිභෝගිකයින්ට වඩා වේගයෙන් දත්ත ලැබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලාවලට විවිධ ක්‍ෂෙත‍්‍රවලට බොහෝ වැඩ කිරීම සඳහා ඒ හරහා පහසුකම ලැබෙනවා. මේ තාක්ෂණය වෙනස්වන වේගය අපට හිතා ගන්නවත් බැරිතරම් වේගයකින් සිද්ද වෙන්නේ. අපි පහුගිය අවුරුදු 30 ඇතුළත යම්කිසි සංවර්ධනයක් තාක්ෂණ ලෝකයේ දැක්කනම් මම හිතන්නේ ඊට වඩා වැඩි සංවර්ධනයක් ඉදිරි අවුරුදු පහ ඇතුළත දකීවී. ඊට පස්සේ වසරින් වසර හුඟක් දේවල් වෙනස් වේවි. ඒක නිසා මේ ලැබිලා තිබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න” යයි රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

“සමහරවෙලාවට දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය අවශ්‍ය නැහැ කියලා කිව්වට යටිතල පහසුකම් නැතිව කිසිම රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා තමයි ලෝකයේ ඕනෑම රටක සංවර්ධනය පටන් ගන්න කොට මුලින්ම රේල් පාරවල්, පාරවල් හැදෙන්න පටන් ගන්නේ. ඒ මගින් තමයි මුළු රටම සම්බන්ධීකරණය වෙන්නේ. ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් සැලසෙන්නේ. මිනිසුන් එම මාර්ග භාවිත කරමින් තමයි ගම්වලට යන්නේ. ගම්වල ව්‍යාපාර පටන් ගන්නේ.

වැදගත්ම අවශ්‍යතාවයක් තමයි මේ විදුලි සංදේශන පහසුකම. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ගැන කතා කරනකොට එතුමා විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි අපේ රටේ අනාගත සංවර්ධනය රඳා පවතින්නේ අධි තාක්ෂණ ලෝකයක් සමග අනගත වීම මත කියලා. මොකද අපි ලෝකයේ අනෙක් රටවල් සමග තරඟ කරන්න තිබූ අවස්ථාවල් ඉතිහාසය පුරා අපේ රටේ තිබූ ප‍්‍රශ්න නිසා, විශේෂයෙන්ම විදේශ ආක‍්‍රමණ නිසා යටත් විජිත වශයෙන් තිබූ නිසා අපට අහිමි උනා. විශේෂයෙන්ම ලෝකය කාර්මීකරණය වන විට ඒ කාර්මීකරණය ආපු අවස්ථාවන් අපට අහිමිවුණා මොකද අපි යටත් විජිත වශයෙන් හුඟක් පසුගාමීව හිටපු රටක් නිසා. අපිට දැන් ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපිත් තාක්ෂණික යටිතල පහසුකම් ඉක්මනට සංවර්ධනය කර ගන්න පුළුවන් නම් අපට පුළුවන් ලෝකයේ අනෙක් රටවල් සමග තරගයක් දෙන්නට. ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන මට්ටම අපේ රටේ තරුණ පරපුරට තිබෙනවා. නමුත් යටිතල පහසුකම් ඒ හා සමානව දියුණු වෙන්නට ඕනේ” රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා පවසනවා.

“අපි සතියේ දවස් හතම වැඩ කරනවා. අපි මොනවා හරි දෙයක් කොහේ හරි මේ දිස්ත‍්‍රික්කය තුළ කරනවා. අපි විශ්වාස කරනවා මිනිස්සු අපට ඡන්දෙ දුන්නේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව. අපේ වගකීම තමයි වෙන අය කරන වැඩ විවේචනය කර කර ඉන්නේ නැතිව වෙන අය වැඩ නොකරන එක ගැන කරදර වෙන්නේ නැතිව අපිට හැකි උපරිම මට්ටමෙන් වැඩ කරනවා. අපි එම කාර්යය කරමින් ඉන්නවා. අපි ඉල්ලන්නේ හැම කෙනෙක්ගෙන්ම අපි වගේ තමුන්ගේ කාර්යය කරන්න. තමුන්ගේ කාර්ය හැම කෙනෙක්ම කරනවා නම් අන්තිමට අපේ රට අපට අවශ්‍ය කරන තැනට ගෙනයන්න පුළුවන් වේවි” යි ඔහු කියනවා.

POPULAR

Recent articles