”ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුණා” – ඩිලාන් පෙරේරා

අරගලය තුළ ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්‍ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවයි ඔහු කියන්නේ.

එම ප්‍රභූ පංතිය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු දිනක නොදැක්ක දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව සඳහන් කරනවා.

හදිසි නීතිය යොදා ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති සමාජ මාධ්‍ය ජාලා තලා දමමින් ආණ්ඩුවට විරුද්ධ බලවේග මර්දනය කරමින් සිටින බවත් මර්දනයේ දෙවැනි පියවර ලෙස මුද්‍රිත මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයත් මර්දනය කරන බවත් ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

“මැයි මස 9 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ද, ජූනි මස 9 වැනිදා බැසිල් රාජපක්‍ෂ මහතා ද, ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද, අගෝස්තු මස 9 වැනිදා අරගලය ද, ගෙදර යෑම අපේ රටේ පසුගිය මාස හතරේ දේශපාලන ක්‍රියාවලියේ සාරාංශය යි. මැයි 9 වැනිදා පෙරවරු 9.00 ට මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉල්ලා අස්වූණා නම් එදින වූ ලේ වැගිරීම සිද්ධ වෙන්නේ නැහැ. බැසිල් රාජපක්‍ෂ මහත්මයා ජූනි 9 වැනිදා පෙර ඉල්ලා ඉස්වූණා නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක අරගලය ඉල්ලූ සර්ව පාක්‍ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව තිබුණා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජූලි 9 වැනිදා වන තෙක් නොසිට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සියලු දෙනා ඉල්ලූ අගමැතිවරයෙක් පත්කර සර්ව පාක්‍ෂික ආණ්ඩුව හැදුවේ නම් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් තවමත් රට පාලනය කරනවා”යි මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරනවා.

POPULAR

Recent articles