”ගෝඨාභයට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන්නැයි ලංකාවේ රජය අපෙන් ඉල්ලුවා” – තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගෙන් දේශපාලන රැකවරණය ඉල්ලීමක් සිදුකර නොමැති බවයි. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට තම රටට පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටනී සංග්‍රාත් (Tanee Sangrat) විසින් පවසා තිබුණා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට තම රජය අවසර දුන් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (11) දිනයෙන් පසුව කැමති දිනක තායිලන්තයට පැමිණීමට හැකියාව තිබෙන බවයි ටනී සංග්‍රාත් කියන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමෙන් තම රටට ශ්‍රී ලංකාව සමඟ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි (Don Pramudwinai) ප්‍රකාශ කරනවා. තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද එම පැමිණීමට විරෝධය දැක්වීමේ හේතුවක් නොමැති බවයි ඔහුගේ අදහස වන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය මෙතෙක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා නැතැයිද ඔහු පවසනවා.

POPULAR

Recent articles