පාසැල් ළමුන්ගේ මුඛ ආවරණ පිළිබඳ පරස්පර අදහස්

පාසල් සිසුන් මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් පරස්පර අදහස් මතුව තිබෙනවා. පාසල් සිසුන් මුඛ ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඤ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ නිර්දේශයේ ඇතුලත් කර තිබෙන අතර , මහජන සෞඛ්‍ය, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ ​වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කරන්නේ පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බවයි.

කොවිඩ්-19 පැතිරීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ සාකච්ඡාවේ දී ඇය මේ බව ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡාව සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. පාසල් සිසුන් දීර්ඝ වේලාවක් මුඛ ආවරණ පැලඳ සිටීමෙන් ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ දිලීර රෝග ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දී තිබෙනවා.

නියම සායනික මුඛ ආවරණ වෙනුවට විවිධ වර්ගයේ මුඛ ආවරණ වෙළෙඳපොළේ වර්තමානයේ අලෙවි වීම එයට හේතුව බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.
එබැවින් පාසලට පැමිණීමේ දී සහ යළි නිවෙස් බලා යාමේ දී හෝ අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණ පැලඳීම දෙමාපියන් සතු තීරණයක් විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

POPULAR

Recent articles