”මෙරට බැංකු පද්ධතිය දැඩි අවධානමක” – ලංකා බැංකු සේවක සංගමය

මෙරට බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තැකීමකින් තොරව තීරණ ගන්න බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසනවා. එම නිසා පවතින ආර්ථික අර්බුදය බැංකු පද්ධතිය දැඩි අවදානමට ලක්ව ඇතැයි ඔහු පවසනවා.

“ආණ්ඩුවලට අයිති බැංකු නෑ. තියෙන්නේ රාජ්‍ය බැංකු පද්ධතියක්. ඒ නිසා ආණ්ඩුවට ජනප්‍රිය දේශපාලන තීරණ ගන්න අයිතියක් නෑ. රටේ සමස්ථ ආර්ථිකය මේ තත්වයට පත්වුනේ මෙවැනි ක්‍රියා නිසයි. දැන් ආණ්ඩුව තීරණයක් අරගන තියෙනවා ගොවි ණය කපා හරින්න. අපි ඒකට විරුද්ධ වෙන්නේ නෑ. ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින ජන කොටසක් හැබැයි දැනටමත් අර්බුධයක තියෙන බැංකු පද්ධතියට ඒ තත්වය දරා ගන්න අමාරුයි.

අපි කියන්නේ ගොවි ණය කපන්න. හැබැයි ඒ මුදල මහා භාණ්ඩාගාරය විසින් ලබා දිය යුතුයි. මොකද ආණ්ඩුවල දේශපාලන තීරණවලට රාජ්‍ය බැංකු බිලි දෙන්න බෑ. ප්‍රධාන බැංකු දෙකෙන් ආණ්ඩුව බිලියන් ගණන් ණය අරගන තියෙනවා. රටක ආර්ථිකය කඩා ‌වැටෙන කොට ජනතාවගේ දෛනික ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු බිද වැටෙනවා. ඒ තත්වය ඍජුවම එම පද්ධතිය තුළ පවතින බැංකු වලට බලපානවා. දැන්ලංකාවේ තියෙන්නේ එහෙම තත්වයක් ඒක ඉතා භයානකයි.

යම් මොහොතක් එන්න පුළුවන් සේරම එක තැන නවතින මොහොතක්. කව්ද ඒකට වග කියන්නේ. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. විදුලි කප්පාදුවත් සමඟ බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ” යි ඔහු පවසනවා.

POPULAR

Recent articles