ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල වර්තමාන තත්ත්වය මොකද්ද?

තම පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරයා ප්‍රකාශ කරසිටියේ, ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටක් බව යි.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ද පසුගිය දා ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ය.

ඒ, ජනවාරි 20 වැනිදා ජනාධිපති කාර්යයාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේ දී ය.

එහෙත් තාරික් අහමඩ් සාමිවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට සහ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව, මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ යුක්තිය සහ වගවීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවය රජයට මම අවධාරණය කළෙමි.” යනුවෙනි.

මේ අතර, නිව්යෝක් මූලස්ථානය කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය චෝදනා කර සිටියේ, ශ්‍රී ලංකා රජය සුළුතර ප්‍රජාවන් මර්දනය කරන අතර ක්‍රියාකාරීන් ඉලක්ක කරන බවට යි.

සුළුජාතීන් හා ක්‍රියාකාරීන් ඉලක්කකර ඇති බවට චෝදනාවක්

ශ්‍රී ලංකා රජය 2021 දී සුළුතර ප්‍රජාවන් මර්දනය කර ක්‍රියාකාරීන්ට හිරිහැර කළ බව, සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හෑල්ලු කළ බවට හියුමන් රයිට්ස් වොච් 2022 වසර වෙනුවෙන් ලෝක වාර්තාව නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය ජාත්‍යන්තර හවුල්කරුවන්ට පොරොන්දු වූ නෛතික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ අතර, පසුගිය යුද අපරාධ ඇතුළු බරපතල උල්ලංඝනයන් පිළිබඳ වගවීම අවහිර කළ බව හියුමන් රයිට් වොච් සංවිධානය පැවසීය.

“මානව අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සඳහා පෙර දී ගත් ක්‍රියාමර්ග ආපසු හැරවීමට, සහ බරපතල අපයෝජනයන්ට සම්බන්ධ අය ආරක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච්හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.

“ජාත්‍යන්තර විවේචන යටපත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සහ යුක්තිය පොරොන්දු වන අතරම, ඔහුගේ පරිපාලනය සුළුතර ප්‍රජාවන් මර්දනය කිරීම වේගවත් කර ඇත,” යැයි ඇය පවසා සිටියා ය.

පිටු 752කින් යුත් 2022 ගෝලීය වාර්තාවෙහි, හියුමන් රයිට්ස් වොච් විසින් රටවල් 100කට ආසන්න මානව හිමිකම් භාවිතයන් සමාලෝචනය කර ඇත.

රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන්ගේම ප්‍රතිඥාවන් නොසලකා හරිමින් සුළුතර දෙමළ හා මුස්ලිම් ජනතාව ඉලක්කකර ගනිමින් දිගටම කටයුතුකර ඇති බවට ද හියුමන් රයිට් වොච් වාර්තාව චෝදනා එල්ලකර ඇත.

රටේ දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනය ලක්වූ නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය රජය භාවිත කරමින් සිටින බව, සහ ආගමික නිදහසට සහ සුළුතරයේ ඉඩම් අයිතියට තර්ජනය වන ප්‍රතිපත්ති භාවිතා කරන බවට ද එම සංවිධානය චෝදනා කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට, නීතීඥයින්ට හිරිහැර හා තර්ජනය කරන බවට සහ සාමකාමී විරෝධතා මර්දනය කරන බව එහි දක්වා ඇති තවත් චෝදනාවකි.

හියුමන් රයිට් වොච් වාර්තාවට රජයේ ප්‍රතිචාරය

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ‘2022 ලෝක වාර්තාවේ’ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව, අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්‍යංශය දන්වා සිටියි.

ශ්‍රී ලංකාව, මානව හිමිකම් ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් වැනි රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, මානව හිමිකම් සුරකින්නන් වශයෙන් ඔවුන් සිදුකරන ඵලදායී කාර්යභාරය ද පිළිගනියි.

කෙසේ වුව ද, විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ගෝලීය, ආර්ථික සහ සමාජීය වාතාවරණයක් තුළ සිදුකෙරෙන සංවේදී කරුණු ඇතුළත් පක්ෂග්‍රාහී වාර්තාකරණය හේතුවෙන් රට තුළ අසමගිය පැතිරීම හා, එය උග්‍ර තත්ත්වයට පත්වීමේ අවදානමක් හටගනියි.

එබැවින්, වගකීම්සහගත, සමබර ,සහ අපක්ෂපාතී වාර්තාකරණයේ වැදගත්කම ඉස්මතු කරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

Foreign Ministry statement
Foreign Ministry statement

අමාත්‍යංශය සඳහන් කළේ, සියල්ල ඇතුළත් වූ දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟාකර ගැනීමේ ගමනක ශ්‍රී ලංකාව නිරතව සිටින බව, පසුගිය වසරේ සැප්තැම්බර් මස ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වාදුන් බව යි.

ආර්ථික, සමාජීය, සහ මානව සංවර්ධනය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු සියලුම අංශ සම්බන්ධයෙන් පවත්නා ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී රජය විසින් සිය ජනතාවට වගකියනු ලැබේ.

මීට සමගාමීව පශ්චාද්-ගැටුම් තත්ත්වය යටතේ සංහිඳියාව ක්‍රියාවට නැංවීම, වගවීම, සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලංකාවාසී ජනතාව ඉදිරියේ සහ ජාත්‍යන්තරය හමුවේ නැවත වරක් සිදුකළ අවධාරණයට අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙහෙයුම් කටයුතු, ආර්ථික කටයුතු සහ මානව සබඳතා සම්බන්ධයෙන් හටගත් බාධා මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා රජය සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇතැ යි විදේශ අමාත්‍යංශය පවසයි.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාලය, වන්දි ගෙවීමේ කාර්යයාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යයාලය, සහ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කවුන්සිලය යනාදී ස්වාධීන දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙම ප්‍රයත්නය සඳහා සහය වන සුවිශේෂී අංග ලෙස විදේශ අමාත්‍යංශය හැදින්වීය.

මෙම ආයතනවල පවත්නා ස්වාධීන ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යමය සහ වෙනත් සහාය හරහා එම ආයතන බලගන්වා ඇතැ යි ද රජය සඳහන් කළේ ය.

මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය හා සබැඳි මෙම දේශීය ක්‍රියාවලීන් හරහා සිදුවූ ප්‍රගතිය සම්බන්ධයෙන් වන නිරන්තර යාවත්කාලීනකිරීම් ශ්‍රී ලංකාව විසින් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට යොමු කරන ලද ප්‍රකාශවල අඩංගු වන වට එහි සඳහන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, වගවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීම, පුද්ගල ඒකරාශීවීම් සඳහා නිදහස ලබා දීම, කොවිඩ් වසංගතය, මුස්ලිම් විවාහ සහ දික්කසාද ආඥාපනත පිළිබඳ යෝජිත සංශෝධන ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකට අදාලව මෑතකාලීනව ලබා ඇති ප්‍රගතිය හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෙත රජය ලබාදුන් ප්‍රතිචාරය තුළින් ඉස්මතු කර ඇතැ යි විදේශ අමාත්‍යංශය පවසා සිටියේ ය.

ජාත්‍යන්තර හවුල්කරුවන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවල හිතෛශීබව සහ උපදෙස් ශ්‍රී ලංකා රජය බෙහෙවින් අගය කරන බව ද විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ ය.

2021 වසරේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර දී “ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අප ප්‍රකාශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමග මෙන්ම කවුන්සිලය සමඟ ද පවත්නා දිගුකාලීන සහයෝගිතාව අඛණ්ඩව පවත්වනු ඇතැ”යි ද එම අමාත්‍යංශයේ නිවේදනයෙහි සඳහන් ය.

විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, “අපි අපගේ අභියෝග පිළිගැනීමට විවෘතව සිටින අතර වගකිවයුතු සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධ සමස්ත විෂය පථයන්හි ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් අත්කර ගැනීමට කැපවී සිටිමු,” යනුවෙනි.

කවුන්සිලයේ බෙදීමට තුඩුදුන් 46/1 යෝජනාවේ අඩංගු වූ සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ප්‍රයෝජනවත් නොවන බවත්, එමඟින් ශ්‍රී ලංකාව තුළ දේශපාලනීකරණයවීමක් සහ බෙදීමක් හටගනු ඇති බවත් ශ්‍රී ලංකාවේ අදහස යි.

නොවිසඳුණු පරීක්ෂණ

පසුගිය දශකයක කාලය තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම, පහර දීම, පැහැර ගෙන යාම හා අතුරුදන් වීමේ සිද්ධි මෙරටින් වාර්තා විය.

2005 – 2015 වකවානුව තුළ සිදුවූ එවැනි සිද්ධි සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි යහපාලන රජය ද එම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත්කර දඬුවම් ලබා නොදුන්නේ ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතකයින් අත්ඩංගුවට ගැනීම, එම්.ටී.වී/එම්.බී.සී දෙපානම මැදිරි සංකීර්ණයට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, කීත් නොයාර් පැහැරගැනීම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීම, මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදුන් සැකකරුවන්ට දඬුවම් පැමිණවීම හා මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදුන් සැකකරුවන්ට දඬුවම් පැමිණවීම මෙතෙක් සිදුව නැත.

ආයුධ පෙන්වීමට ගොස් මියයන සැකකරුවන්

පොලිස් වෙඩිතැබීම් හේතුවෙන් පසුගිය මාස 20ක පමණ කාලය තුළ සැකකරුවන් රැසක් මියගොස් ඇත. ඉන් වැඩි දෙනෙකු පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් වේ.

අවි ආයුධ පෙන්වීමට ගොස් පොලීසිය ඇති වූ සිද්ධිවල දී මොවුන් වැඩි දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබේ.

  • 20/10/2020 – මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මාකඳුරේ මධූෂ්’ මරණයට පත්විය
  • 28/12/2020 – වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ නිශාන්ත කුමාරසිරි නැමති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය
  • 11/05/2021 – පාතාල කල්ලි නායක ‘ඌරුජුවා’ නවගමුව වඳුරන්මුල්ලේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ ය
  • 13/06/2021 – පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගම, දිවුලපිටිය පාරේ දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය
  • 18/07/2021 – සීදුවේ දී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගියේ ය
  • 24/09/2021 – පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට අවශ්‍ය සැකකරුවෙකු වූ ‘රත්මලානේ රොහා’ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්විය
  • 26/11/2021 – සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවා ලුණුවිලගේ ලසන්ත හෙවත් ‘ටින්කර් ලසන්ත’ පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් කළුතර දී මියගියේ ය

තාරික් අහමඩ් සාමිවරයා ජනපති හමුවෙයි

G. L. Peiris - Tharique Ahmed

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට හා තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව, මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ යුක්තිය සහ වගවීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ තමා රජයට අවධාරණය කළ බව, එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ප්‍රකාශ කරයි.

ඔහු මෙසේ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව ය.

කොවිඩ්-19 වසංගත හමුවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝග ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමුවූ බවද ඔහු සඳහන් කළේ ය.

අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ජනවාරි (20) වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය.

කෙසේ වෙතත්, මෙම හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන්නේයැ යි එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ප්‍රකාශ කළ බව යි.

එය තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟාවිය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන්, මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණයකර ගත හැකි වනු ඇතැ යි ද ඔහු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

BBC සිංහල වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී

POPULAR

Recent articles