ලෝක හෙද දිනය අදයි !

ලෝක හෙද දිනය අදයි !

පහනක් අතින් ගත් කාන්තාවකගේ සිට කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකය පුරා මියැදෙන ලක්ෂ සංඛ්‍යාත රෝගීන් වෙත නැඹුරු වෙන මනුෂ්‍යත්වයේ ආලෝකය ඔවුන් ය. හුස්මක් සහ හුස්මක් අතර සම්බන්ධයක් තබාගන්නට බලාපොරොත්තු රැගෙන යුහුයුහුව එන්නෝ ඔවුන් ය. මාතෘත්වය ද පිතෘත්වය ද කැටිකොට මනුෂ්‍යත්වය තුළින් ඔසු ඉසින්නෝ ද ඔවුන්ය. ආත්මය දමනය කළ මිහිපිට වෙසෙන ඍෂිවරු ද ඔවුන්මය. වෙදකම සේම හෙදකම ද දරාසිටින අප්‍රමාණ මනුෂ්‍ය සම්පත්තිය ඔවුහුය.

අද ජගත් හෙද දිනයයි. මේ දිනය ඔවුනටයි ! ඒ වෙහෙසකර මිනිසුන්ටයි !

අදින් වසර දෙසීයකට පුර්වයේ අද වන් දිනක ඉතාලියේ උපන් ෆ්ලොරන්ස් නයිටින්ගේල්, ඇගේ උපතින් දෙසීය වන වසර සැපිරෙන දිනයක ලොව වඩාත්ම උත්කෘෂ්ඨ සේවය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ වැදගත්කම ලෝකය හමුවේ යථාර්ථයක් බවට පසක් කර හමාරය.

1853 දී රුසියානු අධිරාජ්‍යය සමඟ ඇතිවන ක්රිමියානු යුද්ධයේ දී බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ හිසට ඉහළින් පහනක් අතින් ගත් කාන්තාවක් සිටගෙන සිටි බව ඉතිහාසය විසින් සඳහන් කරනු ලබයි . ඒ නයිටින්ගේල් පුරාවෘත්තයයි. ඈත 19 වන සියවසේ කාන්තාවන් සාත්තු සේවිකාවන් ලෙස කටයුතු නොකළ යුගයක මේ ධෛර්යසම්පන්න ගැහැණිය සොල්දාදුවන්ගේ ජීවිතය වෙනුවෙන් තවත් හෙදියන් ද සමඟින් අඛණ්ඩව වැඩ කරනවා. ජීවිතය අතහැර යන්න නියමිත මිනිසුන් ජිවත් වීමට වරම් ලද්දන් බවට පත්කරවන මේ ඓතිහාසික කතාන්දරය අවසන් වන්නේ වත්මන් කොරෝනා වසංගතය හමුවේ ඇද වැටෙන මිනිසුන්ගේ කතාන්දරය අසලින්. අද ද ලෝකය පුරා සියක් දහසක් නයිටින්ගේල් ලා මනුෂ්‍යත්වයේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් නොසැලී නොනැවතී වැඩ කරමින් සිටිනවා. එය යුද්ධයක් හමුවේ සොල්දාදුවෙකුගේ ධෛර්ය ද ඉක්මවා යන්නක් ! පෙනෙනා සතුරකුට වඩා නොපෙනෙනා වසංගතයක් හමුවේ වුව ද ඔවුන් තම ආදරණියයන් ද පසෙකින් තබා ලෝකය දුකින් මුදවා ගැනීමේ නොනිත් මෙහෙයුමක නිරත වෙනවා.

1965 සිට මැයි 12 වන දිනය ජාත්‍යන්තර හෙද දිනය ලෙස පිළිගැනීමට ලක්වූ අතර ලෝකයේ ඕනෑම ස්ථානයක රෝගී බවට පත්වන පුද්ගලයකුගේ පරම සරණ බවට පත්වන්නේ සෞඛ්‍ය සේවාවයි. අද වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් 19 වසංගත තත්වය, මෑත ඉතිහාසයේ හෙද සේවය මුහුණදුන් දැවැන්තම අභියෝගය ලෙස හැඳින්විය හැකියි. ඔබ මෙය නරඹන මොහොත වන විටත් ලොව පුරා විසිරී සිටින මිලියන 28 කට ආසන්න වූ හෙදියන් දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් කැප වී සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 වසර හෙදියන්ගේ වසර ලෙස නම් කර තිබෙන්නේ ද මෙම හේතුව නිසාවෙනි .

රෝගියෙකු සුවපත් වීමට වෙදකම පමණක් ප්‍රමාණවත් නොවන අතර වෛද්‍යවරයා තරමටම වැදගත් භූමිකාවයක් හෙදියද ඉටුකරනු ලබනවා. මෙම වසංගත තත්වය හමුවේ තම පවුල්වල සාමාජිකයන්ගෙන් දුරස් වී, ඇතැම් අවස්ථාවක අවශ්‍ය ආරක්ෂිත උපකරණවත් නොමැතිව තම ජීවිතය අවධානමේ හෙළමින් ඔවුන් ඉටුකරන සේවය සුළුකොට තැකිය හැක්කක් නොවෙයි. අද වන විට කෝවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්නට ගොස් එම වෛරසයටම ගොඳුරු වූ සහ ඉන් මරණයට පත්වූ හෙදියන් විශාල සංඛ්‍යාවක් පිළිබඳව ලෝකයේ නන් දෙසින් වාර්තා වෙමින් තිබෙනවා. එවන් පසුබිමක් තුළ තම ජීවිත ගැන නොසිතා අනෙක් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් කැපවෙන හෙදියන්ට සමස්ථ ලෝකවාසීන්ගේම ගෞරවය නිතැතින්ම හිමිවිය යුතුයි.

ලෝක මට්ටමින් සේම ශ්‍රී ලංකාව තුළද මේ මොහොතේ හෙදියන් විසින් ඉටුකරමින් සිටින කාර්යභාරය අනුපමේයයි. මෙරට කෝවිඩ් 19 ආසාදිතයින්ට සාපේක්ෂව මරණ අනුපාතය පහළ අගයක පවත්වාගෙන යාමට හැකිව තිබීමේ වැඩි ගෞරවයක් එම හෙදියන්ටද හිමිවිය යුතුයි. මෙම අර්බුධ තත්වය හමුවේ දිවා රෑ නොබලා, අධික කැපවීමකින් යුතුව පෙරමුණ ගෙන ක්‍රියාකරන ඔවුන්ට සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම ස්තූතිය හිමිවිය යුතුයි.

සමස්ත ලංකා හෙද සංගමය ජගත් හෙද දිනය අරඹයා ලියා තිබු සටහනක් අප මෙසේ උපුටා දක්වන්නෙමු .

” හෙද දින තේමාව අනුව ලෝකයේ සෞඛ්‍යය රකින නියමු හඬ හෙදිය බව corona වසංගතයට සමගාමීව ලංකාව තුළ ද ලෝකයේ ද අපි අදට අත් විඳිමු. සෞඛ්‍යයේ පෙරමුණු බල ඇණිය තුළ හෙදිය ඉටුකරන සේවය අසමසමය . කොවිඩ් 19 රෝගය නිසා ලෝකය පුරා ආසාදිත හෙද හෙදියන් ගණන 6000 කට ආසන්නය. සියයකට ආසන්න මරණ ප්‍රමාණයකින්ද ඇය වන්දි ගෙවමින් සිටි. එයට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ ප්‍රමිතිගත ආරක්ෂිත මෙවලම් ලෝකයේ බොහෝ රෝහල් තුළ නොතිබීමයි. ලංකාව තුළ ද තත්ත්වය මීට සාපේක්ෂව සමාන ය. ඉටි රෙදි වලින් ආරක්ෂිත ඇඳුම් සකසා ගත් හෙද හෙදියන්ද පෙරමුණු බලකාය තුළ සේවය කලේ අවශ්‍ය තරම් ආරක්ෂිත උපාංග (PPE ) සපයා නැති නිසාය . ලෝකයේ ධනපති රාජ්‍යයන් හි ද PPE හිග බව එම රාජ්‍යයන් කියන්නේ ලක්ෂ ගණනින් රෝගීන් වාර්තා වෙද්දී ය . නමුත් ලංකාව තුළ රෝගීන් දෙසීයක් වාර්තා වීමේ දී ද අත්‍යවශ්‍ය කරුණකට හැර PPE සැපයුම පැහැර හැරි බව කිව යුතුය .මෙම හෙද සේවාවේ යෙදෙන නිලධාරීන්ගේ ජීවිත ගැන වගකීමක් පාලකයන්ට නොමැතිවීම හෙද මරණ තුළින් පිළිබිඹු වන කටුක යථාර්ථය යි ”

අවසානයට පුර්වයෙන් මෙරට ප්‍රමුඛතම වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ අදහසක් උපුටන්නෙමු . මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය උපදේශක, සෞඛ්‍ය ආමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ මහතා මෙරට හෙද සේවාව පිළිබඳව දැක්වූ වූ අදහසක් ය ….
” සියළු ශ්‍රී ලාංකිකයින්ට, සියළු කල්හි, තම සේවය අවංකව නොපිරිහෙලා ඉටු කළ, ඉටු කරන ශ්‍රී ලංකා හෙද සේවයේ ෆ්ලොරන්ස් නයිටින්ගේල් දියණිවරුන්ට සහ පුතුන්ට අපේ උත්තමාචාරය ” !

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles