රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලීසිය වෙත භාරවෙයි

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලීසිය වෙත භාරවී තිබෙනවා. පොලිසිය පවසන්නේ බාරවීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

දංකොටුව, වලව්වත්තේ පදිංචි 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති අදාළ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අද (3) අලුයම පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් පන්දුව පවසනවා. රාගම පොලීසියට භාරවූ පසු එලෙස අත්අඩංගුවටගත් බවයි ඔහු කියන්නේ. පොලීසිය පවසන්නේ අදාළ පහරදීම සඳහා පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතාගේ බව කියන BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවයි. ඒ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතාගේ තොරතුරු මතයි.

මේ වන විට සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7ක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයයි.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම 2.30ට පමණ කඩාවැදී ඇතිවූ සිදුවීමට හේතුව රාගම වෛද්‍ය පීඨය තුළ ඉගෙනුම ලබන විශේෂඥ වෛද්‍යවරියකගේ දරුවෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ නවක වද සිදුවීමක් බවයි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ කියා තිබුණේ. දිගින් දිගටම අදාළ වෛද්‍ය ශිෂ්‍යාවට සිදුවූ හිරිහැර හේතුවෙන් ඇයව ගලවා ගැනීම සඳහා මෙම පුද්ගලයින් රාගම වෛද්‍ය පීඨයට ගොස් ඇති බව තමන්ට ආරංචි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඒ අතර මෙම පහරදීමේ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කළහොත් තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියා සිටියා. තමන් මෙම සිදුවීම එදින උදෑසන දැනගත් බවත් තම අමාත්‍යාංශයේ කවුරුන් හෝ මෙම සිදුවීමට සම්බන්ධ නම් ඔවුන්ට එ‍රෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබුණා.

POPULAR

Recent articles