ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ගැන සනත් ජයසූරියගේ කනස්සල්ල

රජයට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා සනත් ජයසූරිය තම කනස්සල්ල පළ කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සනත් ජයසූරිය මහතා පසුගියදා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම හෙළා දකිනවා.
“විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැකීම දැඩි කනස්සල්ලට කරුණක්” යැයි ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලය මෙය බවයි සනත් ජයසූරිය කියන්නේ. “වරදට සමාව දීම මනුෂ්‍ය ක්‍රියාවකි” ඔහු පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි සනත් ජයසූරිය, රාජපක්ෂ පාලනය පන්නන විරෝධතාවයට සහය දෙමින් ගාලුමුවදොර පිටියටත් එක්ව සිටියා. මහින්ද රාජපක්ෂ පවුලේ මෙන්ම විශේෂයෙන් නාමල් රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු වූ සනත් ජයසූරිය කලෙක රාජපක්ෂ පාලනයට සහ මෛත්‍රීපාල පාලනයට සහය දක්වමින් මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළ අයෙක්.

සනත් ජයසූරිය 2010 මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනා. එහිදී පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ මනාප 74,352ක් ලබා ගනිමින්. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස 2013 ඔක්තෝම්බර් මාසයේදී සනත් ජයසූරිය පත්කරනු ලැබුවා. පසුව 2015 යහපාලන ආණ්ඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පළාත් පාලන සහ ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 2015 ජූනි 26 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ඔහු එම ධුරය දරනු ලැබුවා.

POPULAR

Recent articles