අත්අඩංගුවට ගත් 83 ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

එමෙන්ම දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඔවුන්ගෙන් ‍ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර ද වන අතර ඔවුන් මේ වන විට මරදාන හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් ස්ථානවල රඳවා සිටිනවා.

POPULAR

Recent articles