”මේක සාමාන්‍ය අතපසුවීමක් නෙවෙයි” – වෛද්‍ය නිහාල් අබේසිංහ

බෙදා දී තිබූ ත්‍රිපෝෂ එය නිපදවූ ආයතනය විසින්ම ආපසු එකතු කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ ලේකම් විශේඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසන්නේ මෙය සත්‍යයක් නම් ත්‍රිපෝෂ වල විෂකාරක අඩංගුවීම පිළිබදව පුර්ව පරීක්ෂාවක් නොකිරීම බරපතල වැරැද්දක් බවයි. ඔහු කියන්නේ එය සාමාන්‍ය අතපසුවීමක් නොවන බවයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා ත්‍රිපෝෂ නිපදවන ආයතනයේ සේවකයින් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට බෙදා දී තිබු ත්‍රිපෝෂ නැවත එකතුකිරීමක් පිළිබදව ඊයේ වාර්තා වුණා. විවිධ අය විසින් අදාළ ආයතනය විසින්ම එසේ එකතුකරනූ ලැබුයේ එම ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් නමැති විෂ ද්‍රව්‍ය තිබිය හැකි උපරිම ප්‍රමාණයට වඩා අඩංගු වීම නිසා කියා මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණා.

ඇෆ්ලටොක්සින් කියන්නෙ මයිකොටොක්සින් කාණ්ඩයට අයිති දිලීරයක්. මෙම දිලීරය වී, කව්පි මුං වැනි ධාන්‍ය වර්ග කුළු බඩු වියළි පළතුරු, ඇපල් සහ කෝපි වැනි ආහාර ද්‍රව්‍ය වල තෙතමනය තිබෙන වියළි පරිසරයක සවභාවිකව දකින්න පුළුවන්.

මේ පිළිබදව සොයා බැලු විට දැන ගන්නට ලැබුණේ බෙදූ ත්‍රිපෝෂ නැවත එකතු කිරීමේ කථාව ඇත්තක් බවයි. නමුත් එසේ කළේ ඇෆ්ලටොක්සින් වැඩි ප්‍රතිශතයක් තිබු නිසා තිබුණා නම් එලෙස තිබු ප්‍රතිශතය කොපමණද කියා දැනගන්නට ලැබුණේ නැහැ. එය තහවුරු කර ගැනීමට අවශ්‍යයි.

ඇෆ්ලටොක්සින් පිළිබඳව මෙය සත්‍යයක් නම් ත්‍රිපෝෂ වල විෂකාරක අඩංගුවීම පිළිබදව පූර්ව පරීක්ෂාවක් නොකිරීම බරපතල වැරැද්දක්. එය සාමාන්‍ය අතපසුවීමක් නෙමෙයි. ඇෆ්ලටොක්සින් නිසා තීව්‍ර විෂ වීමක් වමනය ඔක්කාරය සහ පාචනය වැනි ලක්ෂණ සහිතව හෝ කාලයක් තිස්සේ සුළු ප්‍රමාණ වලින් ශරිරගත වීම නිසා ප්‍රතිශක්තිය ඌන වීම හෝ පිළිකා රෝග සෑදීමට ඉඩ තියෙනවා.

ඉහත ආහාර වල තිබිය හැකි උපරිම මයිකොටොක්සින් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 – 15 ක්. ඒ කියන්නේ කිලෝ ග්‍රැමයකින් බිලියනයකින් එකක් පමණ.

මෙවැනි විෂවීමක් සිදුවන්නේ කලාතුරකින් වුවත් ආහාර උද්ධමනය ඇති මෙවැනි අවධියක එකම ආහාර වර්ගය උදාහරණයක් ලෙස කිසියම් ඉහත වර්ගයේ ආහාරයක් හෝ ධාන්‍ය වර්ගයක් පමණක් දිගින් දිගටම ගැනීමෙන් අදාළ සීමාවන් ඉක්මවා මයිකොටොක්සින් ශරීර ගතවීම සිදුවිය හැකියි. එබැවින් අප ගන්නා සියළු ආහාර වල ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට දරුවන්ට ලබාදෙන ආහාර ගැන අතිශය සැලකිළිමත් විය යුතුයි” වෛද්‍ය නිහාල් අබේසිංහ කියනවා.

POPULAR

Recent articles