”යහපත් තීන්දුවලට අපි සහාය දෙනවා” – මෛත්‍රීපාල සිරිසේන

ළඟදී තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට ආරංචි ලැබී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ ද ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් නැති බවයි ඔහු කියන්නේ.

“අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු එකහමාරකට වැඩි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂය විදහට යෝජනා කළා රට ගොඩ ගන්න සර්ව පාක්ෂික ආණ්වක් හදමු කියලා. ‍ගෝඨාභය ජනාධිපතිවරයා අවස්ථා ගණනකදී අපි සමඟ සාකච්ඡා කළා. සාකච්ඡා කරලා සර්ව පාක්ෂික සමුළුවකුත් පැවැත්වුවා. අවසානයේ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කමිටුවකුත් පත්කළා. නමුත් ඒ එක්කම මේ රටේ තරුණ පිරිස්වල අරගලයත් සමඟ ඒ වැඩසටහන නැවතුණා. වර්තමාන ජනාධිපතිතුමා පත් වුණා. රනිල් වික්‍රමසිංහ මහතාටත් අපේ පක්ෂයෙන් මේ යෝජනා ඉදිරිපත් කළා. එතුමා සමගත් අවස්ථා ගණනාවදී සාකච්ඡා කළා පක්ෂය විදිහට අපේ මන්ත්‍රී කණ්ඩායම.

අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් ගණනාවක් පැවැත්වුවා. ඒ හැම එකකදීම අපි කිව්වා අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඉතාමත් කනගාටුයි පාර්ලිමේන්තුවේ බහුතරයක් දේශපාලන පක්ෂ ඒ සඳහා කැමැත්තක් තිබෙනවා. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට එකඟතාවයක් නැත්තේ, විරුද්ධත්වයක් තියෙන්නේ ආණ්ඩු පක්ෂය විසින් කියන එක තමයි කනගාටුවෙන් හරි කියන්න තියෙන්නේ.

අපි කිව්වා හිටපු ජනාධිපතිවරයාටත්, වර්තමාන ජනාධිපතිවරයාටත් ඇමති මණ්ඩලය 20කට සීමා කරන්න, අමාත්‍යාංශ සීමා කරන්න කියලා. ඒ අනුව අපි එතැන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු කියලා. නමුත් ඇමතිවරු පත්වෙනවා දවසින් දවස. ආරංචියි අද හෙටද දන්නේ නැහැ තවත් කැබිනට් ඇමතිවරු ගණනාවක් පත්වෙනවා කියලා. මේ හැමදේටම යන්නේ ජනතාවගේ සල්ලි.

අපිට කළ හැකි දේ අපි රට වෙනුවෙන් කරනවා. රටේ ජනතාවගේ පීඩාකාරී තත්ත්වයන්වලින් රට ගොඩගන්න මොනවා හරි තීන්දුවක් ආණ්ඩුව ගන්නවානම් ඒ යහපත් තීන්දුවලට අපි සහාය දෙනවා. තනතුරු ගන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපේ පක්ෂයෙන් පිරිසක් ගියා තනතුරුවලට තිබෙන ආසාවට ඉතින් ඒ අයගේ අදහස ඒක” යි හිටපු ජනාධිපතිවරයා කියනවා.

POPULAR

Recent articles