“ඩීසල් හිඟයක් තියෙන බව පිළිගන්නවා” – උදය ගම්මන්පිල

රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අමාත්‍යවරයා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මේ වන විටත් නැවකින් ඩීසල් ගොඩබෑම සිදුවෙමින් පවතින අතර පැට්‍රෝල් නැවක් මුහුද මැද නැංගුරම්ලා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා. එම නැවටද මුදල් ගෙවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ යැයි අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියා. මේ දක්වා මෙරටට පැමිණි කිසිම ඉන්ධන නැවක් ආපසු හරවා යවා නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද පැවසුවා.

උක්රේනය සහ රුසියාව අතර පවතින යුද වාතාවරණය නිසා ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයක් දක්වා ඉහළ නැග ඇතැයිද එම මිල මාර්තු මාසය වනවිට ඩොලර් 115 දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.

මේ වන විටත් ඉන්ධන ණයට ලබාගැනීමට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරගෙන යන බවද ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියා. ඉන්ධන ගෙන්වීමට ඛණජ තෙල් නීතිගත සංස්ථාව එක් මසකට ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

POPULAR

Recent articles