”ඇමතිවරුන්ට දෙන නිල නිවාස ඉවත්කරන්න ඕනේ” – අනුර කුමාර දිසානායක

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසනවා. බ්‍රිතාන්‍යයන් සිය යටත් විජිත පාලන සමයේ දී ඉදිකළ පෞරාණික නිවාස ඇමැතිවරුන්ට දීම නවත්වා ඒවා සංචාරක නිකේතන බවට පත්කරන ලෙසයි ඔහු කියන්නේ. එය මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට වැදගත් බවද ජවිපෙ නායකයා කිනවා.

ඒ සියල්ල තිබියදී නිල නිවාස සහ වෙනත් වරප්‍රසාද දීමනා ලබාදෙමින් පත්කළ රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර තියෙනවා අපේ පාලනයකදී අමාත්‍යවරුන් සංඛ්‍යාව 25කට නොවැඩි වීම හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ඒ හා සමාන බව. ඊට රාජ්‍ය අමාත්‍ය ධුර වැනි කෙනෙක් සතුටු කරන්න පමණක එල්ලන ඒවා නොකළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සකස් කරන අවස්ථාවේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් සිටිය යුතු බවට අපේ යෝජනා භාර දුන්නා.

ඇමැතිවරයාට සහාය වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක්. මෙතනදී කරන්නේ ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන ඇමැතිවරුන් 30කට වඩා පත්නොකළ යුතු බවට තිබෙන වගන්තියෙන් රිංගා යෑමට යොදන උපක්‍රමයක්. ඒ මහජන මුදල් මංකොල්ලය, මහජන මුදල් නාස්තිය, මහජන මුදල් අවභාවිතාව වෙනුවට ඉතාම විද්‍යාත්මක පදනමකින් විෂයයන් බෙදා ඒ ඒ විෂයයන් වෙනුවෙන් නිපුණතාවන්, හැකියාව සහ දැනුම තිබෙන ඇමැතිවරුන් පත්කළ යුතුයි. විශේෂයෙන්ම කැබිනට් හෝ නියෝජ්‍ය වේවා ඒ හැමදෙනාටම අද හිමිවෙන වරප්‍රසාද ඉවත් කළ යුතුයි.

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඉවත්කරන්න ඕනෑ. ඇමැතිවරුන් බොහොමයකට ලබාදී තියෙන්නේ බ්‍රියානය යටත් විජිත පාලකයන් හැදූ නිවාස. ඒවා දැන් සියවසක් ඉපැරණි පෞරාණික නිවාස. අපේ පාලනයක් යටතේ ඒවා ඇමති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙන්නේ නැහැ. අපි ඒවා සංචාරක නිකේතන බවට පත් කරනවා. ලෝකයේ සිටින ධනවත් සංචාරකයන්ගේ සනචාරක නවාතැන් වෙනුවෙන් වෙන් කරනවා. ඇමැතිවරුන්ට අඩු වියදම් වාහනයක් ලබා දෙනවා. විශාල වශයෙන් ඉන්ධන වියදම් වන වාහන ඉවත් කරනවා. භාණ්ඩාගාරයේ පතුලට සිඳී තිබෙන රටක් ගොඩගන්න වැඩ ආරම්භ කරන්න පුළුවන් ඒ ආකාරයෙන්” යයි ඔහු පවසනවා.

POPULAR

Recent articles