ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) දැල්පන්දු කුසලානය වෙනුවෙන් අවසන් සටනට

සිංගප්පූරුවේ දී අද (11) පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්ව මුහුණ දෙන බවයි කණඩායමේ ප්‍රකාශිකාවක් කියන්නේ.

තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 67-43ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරමින් අද අවසන් තරගයට මුහුණ දෙනවා.

අද පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රතිවාදී කණඩායම වන්නේ සත්කාරක සිංගප්පූරුව යි. සිංගප්පූරුව හා මලයාසියාව අතර තරගයෙන් මලයාසියාව පරාජය කරමින් සිංගප්පූරුව අවසන් තරගයට එක්ව තිබෙනවා.

පස් වරක් ම ආසියානු කුසලාන දිනා සිටින ශ්‍රී ලංකාවට හෙට දිනයේ 6 වැනි වතාවටත් කුසලාන දිනා ගැනීම කෙරෙහි විශාල අපේක්ෂාවක් තබාගෙන සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයාංජලි අමරවංශ අවසන් තරගය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ තරඟාවලියේ එක දිගට මෙතෙක් පවත්වාගෙන ආ කණ්ඩායමේ අපරාජිත බව අද දිනයේ දී ජයග්‍රාහීව නිමාකිරීමට අපේක්ෂාකරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය හයිසින්ත් විජේසිංහ ද අද පැවැත්වෙන අවසන් තරග ජයග්‍රහණය ගැන දැඩි විස්වාසයකින් යුතුව අදහස් දක්වනවා. “දක්ෂතා අතර සිටින වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම හෙට අපි පිටියට ගෙනෙනවා” යි ඈ පවසනවා.

12 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු2.30 පැවැත්වෙනවා. ඒ සිංගප්පූරුවේ වේලාවෙන් පස්වරු 5.00 ට.

POPULAR

Recent articles