”මම වග කියන්නේ නෑ, මොකද මට ඒක අදාළ නෑ” – මහින්දානන්ද අලුත්ගමගේ

අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුණේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී තමන් ඔහුගේ තීරණය වෙනුවෙන් පෙනී සිටියද තමන් කාබනික පොහොර ප්‍රතිපත්තියට විරෝධතාව පළ කළ බවයි දැන් ඔහු කියන්නේ. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන්ට පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම, සම්බන්ධයෙන් වගකීමක් නොතිබූ බවත් තමන් එකල ඒ බව නොකීවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ නිසා බවත් මන්ත්‍රීවරයා පවසනවා.

“අපි මේ තීන්දුව ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී. ඒ වෙනකොට යල කන්නයට අපි පොහොර ගෙනල්ලා තිබුණේ. මහ කන්නයට තමයි පොහොර හිඟයක් ආවේ. මහ කන්නයට පොහොර හිඟයක් තිබුණ නිසා නිෂ්පාදනයේ විශාල අඩුවිමක් සිදුවුණා. ඒකේ තර්කයක් නෑ. රසායනික පොහොරවලින් තොර කරපු ප්‍රතිපත්තියේ වරදක් නැ. වරද තියෙන්නේ රටට ම එකවර කරපු නිසයි. අපිට තිබුණා කාණ්ඩ වශයෙන් කරන්න. පසුගිය කාලයේ මම තරම් බැනුම් අහපු දේශපාලඥයෙක් මේ රටේ නෑ.

මගේ තරම් පඹයෝ පුච්චපු දේශපාලඥයෙක් මේ රටේ නෑ. ඩි.එස්. සේනානායක මහත්තයාගේ ඉදලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනකම් වැඩිම පඹයෝ පිච්චුවේ මගේ.

අනුන්ගේ දරුවෙකුට උප්පැන්න දෙන්න ගිහින් මම මගේ දරුවෝ ටික පුච්ච ගත්තා. මම කෘෂිකර්ම ඇමති ලෙස දිවුරුම් දෙන කොට පොහොර විෂය මට නෑ. පොහොර සඳහා වෙනම රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මොහාන් සිල්වා. අනිත් කෙනා ශෂේන්ද්‍ර රාජපක්ෂ. මේ අමාත්‍යාංශවලට ලේකම්වරු හිටියා. ඒ අයට බලය පවරලා තිබුණා.

ජනාධිපතිතුමා මට කිව්වා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායෙන් තමයි මේක මෙහෙයවන්නේ. මේක බලපාන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට. මේකේ ආදීනව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කථා කරනවා කියලා. මේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ.

රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.

පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම ගැන මට වගකීමක් නෑ. මම මෙතෙක් කල් ඒක කිව්වේ නෑ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙලා හිටපු නිසා” යි පොහොට්ටුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියනවා.

POPULAR

Recent articles