ඉන්ධන, ගෑස් හා වී වගා ගැටලුවලට සාගල රත්නායකගෙන් උපදෙස්

ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක විසින් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්බව වාර්තා වෙනවා. ඉහත ක්ෂේත්‍රවලට අයත් නිලධාරීන් සමඟ ඊයේ (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන්බව කියනවා.

ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙන අතර ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාවගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙස ඔහු විසින් උපදෙස් දී තිබෙනවා. භූමිතෙල් මිල වැඩි වීම සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.

වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟද ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා විසින් සාකච්ඡා කර තිබෙනවා. වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්බව වාර්තා වෙනවා.

මේ වනවිටත් පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබුණු අතර ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැනුණු බවයි කියන්නේ. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග සහභාගීවී තිබෙනවා.

POPULAR

Recent articles