”ආර්ථිකයේ බහුතර ක්ෂේත්‍ර රජය විසින් පාලනය කළ යුතුයි යන මතයේ අපි නෑ” – අනුර දිසානායක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල වෙළෙඳපොළ පංගුවක් තිබියදීත් CPC දැවැන්ත පාඩු ලබන අතර LIOC ලාභ ලබන්නේ කෙසේදැයි විමසිය යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව වැඩියි යනුවෙන් විවේචනයක් ඇති බව පවසන මන්ත්‍රීවරයා කෙසේ වෙතත්, එය වැඩිපුර සිටින්නේ කොතැනදැයි විමසිය යුතු බවයි කියන්නේ.

“අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය සලකා බලන්න. එහි සැලකිය යුතු ගුරු හිඟයක් පවතිනවා. විශේෂයෙන් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය සඳහා ගුරු හිඟය විශාල සංඛ්‍යාවක්. හැබැයි පාසල්වල සුළු කාර්ය මණ්ඩල විශාල සංචිතයක් පවත්වාගෙන යනවා. ඇයි එහෙම වෙන්නේ.

ඒ වගේමයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ අනෙකුත් තවත් රාජ්‍ය ආයතනවල ද එයයි තත්වය. රාජ්‍ය ආයතන නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් මේ විදිහට පිරී ඇත්තේ ඇයි. හේතුව තමයි දේශපාලකයන්ට තම හෙන්චයියන්ට ඔවුන්ගේ සහයෝගයට උදව්වක් විදිහට දිය හැක්කේ එවැනි රැකියාවක් නිසා. අපි දිගින් දිගටම කතා කරන රටේ දේශපාලන සංස්කෘතිය මේ ප්‍රශ්නයේ දී ප්‍රධාන තැනක් ගන්නවා.

ආර්ථිකයේ බහුතර ක්ෂේත්‍ර රජය විසින් පාලනය කළ යුතුය යන මතයේ අපි නැහැ. අපි එහෙම හිතනවා කියන එක වැරදි අදහසක්. ඒත් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයට සහ ජාතික ආරක්‍ෂාව පවත්වාගෙන යාමට වැදගත් වන අංශවල පාලන හැකියාව රජය විසින් පවත්වාගෙන යා යුතුයි. ඊට බලශක්තිය, ආරක්ෂාව සහ සන්නිවේදනය ඇතුළත් වෙනවා. ශක්තිමත් රාජ්‍ය බැංකු පද්ධතියක් ද තිබිය යුතුයි.

අපගේ බලශක්ති වෙළෙඳපොළ කුඩා එකක්. අපි ඒක දන්නවා. බලශක්තිය වැනි සමහර උපාය මාර්ගික අංශ රජයේ පාලනය යටතේ පැවතිය යුතු යැයි අපි හිතනවා. එවැනි තීරණාත්මක අංශවල බලය පාලනය කිරීමට ඒ ක්ෂේත්‍ර රජය සතුවිය යුතුයි. එම වෙළඳපොලේ කොටසක් ලෙස පුද්ගලික ආයතන තිබිය හැකියි. හැබැයි, පාලනය රජය විසින්ම කළ යුතුයි. පුද්ගලික හෝ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයන් කළමනාකරණය කිරීමට ඉඩ සලසන සමහර උපාය මාර්ගික නොවන අංශ ඇත්ත වශයෙන්ම තියෙනවා” අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles