චීන නැව පිළිගැනීමට වාසු, විමල් හා රතන හිමි හම්බන්තොට වරායට

අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට ලඟා වූ චීන Yuang Wang – 5 නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමි හම්බන්තොට වරාය වෙත ගොස් තිබුණා.

චීන යාත්‍රාව අගෝස්තු 11 වන දින චීනය වෙත 99 වසරකට බදු දී ඇති හම්බන්තොට වරායට ඉන්ධන පිරවීම සඳහා පැමිණ අගෝස්තු 17 වන දින පිටත් වීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් මෙම යාත්‍රාව හම්බන්තොට වරායට නැංගුරම් ලෑම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ආරක්‍ෂක කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් සංචාරය ප්‍රමාද වුණා. මෙම යාත්‍රාව චීන නාවික හමුදාවේ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම් ගත කළ හැකි ඔත්තු නැවක් ලෙස පෙන්වීම නිසා ඉන්දියාව සිය කනස්සල්ල පළ කර තිබුණා.

පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් ලෙස නම් කරන ලද Yuang Wang – 5, 2007 දී ඉදිකරන ලද අතර ටොන් 11,000 ක් බරක් රැගෙන යා හැකි ධාරිතාවකින් යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වෙත මෙම වැදගත් සංචාරය අතරතුර, එය ඉන්දියානු සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පර්යේෂණ සිදු කළ හැකි අතර, එය ඉන්දියාවට ආරක්ෂක ගැටලු ඇති කරන බවයි ඉන්දියාව කියන්නේ.

කොළඹ සිට කිලෝමීටර් 250ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය ඉදිකරනු ලැබුවේ ඉහළ පොලියට ලබාගත් චීන ණයවලින්. චීනයෙන් ගත් ණය ගෙවීමේ නොහැකියාව ගැන කියමින් යහපාලන සමයේදී ශ්‍රී ලංකා රජය 99 වසරක බදු පදනම මත වරාය චීනයට පවරා දුන්නා.

POPULAR

Recent articles