අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

1949 මාර්තු 2 දා උපත ලද දිනේෂ් ගුණවර්ධන මහතා පිලිප් ගුණවර්ධන සහ කුසුමසිරි අමරසිංහ (පසු කලෙක කුසුමා ගුණවර්ධන) ගේ පුත්‍රයා යි.

කොළඹ, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දිනේෂ් ගුණවර්ධන හා සමකාලීනව එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ අනෙක් ශිෂ්‍යයන් දෙදෙනෙකු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නැසීගිය අනුර බණ්ඩාරනායක මහතා යි.

පසු කලෙක නෙදර්ලන්තයේ Nyenrode Business University හි අධ්‍යාපනය ලැබූ දිනේෂ් ගුණවර්ධන මහතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සමඟ උපාධිය ලබා ගත් බව කියනවා. පසුව ඔහු ඔරිගන් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වූ අතර ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධියක් ලබා ලබා තිබෙනවා.

ඔහු විවාහ වූයේ රමණි වත්සලා කොතලාවෙල සමඟ යි. පුතෙක් සහ දියණියකගේ පියෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා ගේ බිරිඳ පසු කලෙක හෙපටයිටිස් රෝගයෙන් මිය ගියා. ඔහුගේ පුතා යදාමිණි ගුණවර්ධන පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක්. දියණිය සංඛපාලි ගුණවර්ධන යි.

1972 මාර්තු 26 දී පිලිප් ගුණවර්ධන මහතා මිය ගිය පසු එතෙක් අමෙරිකාවේ රැකියාවක් කරමින් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා නැවත ලංකාවට පැමිණ 1973 අගෝස්තු මාසයේ දී ඔහුගේ පියාගේ සහ මවගේ පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණේ (MEP) මධ්‍යම කාරක සභාවට පත් වුණා. ඉන් පසුව 1974 දී එහි ප්‍රධාන ලේකම් බවටත් පත් වුණා.

1977 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අවිස්සාවේල්ල ආසනයෙන් තරග කළ දිනේෂ් ගුණවර්ධන පරාජයට පත් වුණේ ඡන්ද 17,897ක් ලබා ගනිමින්. ඒ එජාප අපේක්ෂක එම්.ඩී. ප්‍රේමරත්න මහතාට.

යලිත් 1983 අතුරු මැතිවරණයේදී මහරගමට තරග කළ දිනේෂ් ගුණවර්ධන මහතා එවර ඡන්ද 27,054ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට ර්ගේරී පත්වුණා. එවර ඔහුට එරෙහිව තරග කළේ එවකට එජාප ලේකම් වූ ගාමිණි විජේසේකර මහතා යි. ඉන් පසුව 1989, 2000, 2001, 2004, 2010 සහ 2015 මැතිවරණ වලින් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ දිනේෂ් ගුණවර්ධන මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් තිදෙනා යටතේම ඇති ධුර දැරූ අයෙක්.

වෙනකක් තබා කූප්‍රකට දින 52 ආණ්ඩුවේ දීත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ යටතේ යි. එහෙත් එය නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් ලෙසයි අධිකරණය විසින් සලකනු ලැබුවේ. එම ආණ්ඩුව පිහිටුවීමේ දී දිනේෂ් ගුණවර්ධන කණ්ඩායම විසින් පළවා හරිනු ලැබුවේ එවකට පැවති යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යි. අද දින ඔහු, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කර ගෙන අගමැති ලෙස දිව්රුම් දෙනු ලැබුවා.

1977 සිටම උග්‍ර එක්සත් ජාතික පාක්ෂික විරෝධියෙකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 20වෙනිදා පාර්ලිමේන්තුවේ දී අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයට සිය පන්තියේ මිතුරා මෙන්ම, එජාප නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළා. ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔහුට සහය වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ අසලම අසුන් ගනිමින් එම ආණ්ඩුවේ සභානායක ලෙසත් කටයුතු කළා.

POPULAR

Recent articles