නව ජනපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවට කැටුව ගිය අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත් වූයේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැති රහස් ඡන්දයකින් අනතුරුවයි.

73 හැවිරිදි ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා ලෙස කටයුතු කරනු ලබනවා.

එමෙන්ම ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී, අවස්ථා හයක් තුළ අගමැති ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහු 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළා.

1970 දශකයේ මැද භාගයේ එක්සත් ජාතික පක්ෂය සමඟින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බියගම ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුණා.

ඉන් පසුව ඔහු යෞවන කටයුතු හා රැකියා අමාත්‍යවරයා ලෙස පත් වූ අතර, ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා බවට පත් වුණා.

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් පාර්ලිමේන්තුවේ ආසනයක් ලබා ගැනීමට අපොහොසත් වීම විශේෂත්වයක් වනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පිවිසි අතර 2021 ජුනි 23 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

2022 මැයි මාසයේදී, මහජන විරෝධතා හේතුවෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වික්‍රමසිංහ නැවත අගමැති ලෙස පත් කරන ලදී.

ඔහුගේ පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසු වික්‍රමසිංහ 2022 ජූලි 13 වන දින වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වුණා.

POPULAR

Recent articles