”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම පත්කිරීමට තමන් මේ වන විටත් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබෙන බවයි.

“පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ අනුමැතිය සහිත කෙනෙකු අගමැති ධුරයට පත්කිරීමටත් නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමටත් හැකියාව ලැබෙනවා. අපේ යෝජනාව තිබෙන්නේ පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් සහ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙසටයි. ජනාධිපතිවරයගේ පුරප්පාඩුව සඳහා වත්මන් කථානායකවරයාම පත්කිරීමට අපි මේ වන විටත් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව මාස 03ක වැනි කෙටි කාලයක් සඳහා අන්තර්කාලීන පක්ෂ අතර එකඟතාවයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. ඉන් පසුව දේශපාලන ස්ථාවරත්වය පිහිටුවීම සඳහා නව ජන වරමක් මගින් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව දීමටත් යෝජනා කර තිබෙනවා.

පළමුව දේශපාලන ස්ථාවරත්වය ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවරත්වය ඇති කළ හැක්කේ එමගින් පමණයි. මෙ කෙටි කාලය තුළ රටේ ජනතාවගේ ඉන්ධන, ගෑස්, විදුලිය, අත්‍යාවශ්‍ය ආහාර වැනි ප්‍රශ්න විසඳීමේ වගකීම අන්තර්කාලීන ආණ්ඩුවට පැවරෙනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ස්ථාවර ආර්ථික විසඳුම් මගින් රට ගොඩනැගීමේ වගකීම නව ජන වරමින් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙනවා.

අද දවසේ පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා ලෙස අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා. එහිදී මෙම ප්‍රශ්න මතු කිරීමට අපේක්ෂාවෙන් ඉල්ලනවා. රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමට අපි සූදානම්.

දැනට වැඩ බලන ජනාධිපති තමන් බව කියන අගමැතිවරයාට ඒ බලය පැවරීමක් සිදු කළේ කවර ලිපියක් මගින්දැයි පැහැදිලි නැහැ. ඔහු වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ කොහේද, ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් නැහැ. නමුත් ගැසට් පත්‍රයක් නිකුත් වී තිබෙනවා. හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවීම සහ හමුදාව එවැනි රාජකාරිවලට කැඳවීම වැනි කාරණාවල නීත්‍යානුකූළභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා” මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

POPULAR

Recent articles