එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව මෙරටදී

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වුණු 36 වැනි කලාපීය සමුළුවේදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙම සමුළුවට සහභාගී වුණා.

ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට හා සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක ක්‍රියාකාරීත්වය මෙම සමුළුවට ලබාදෙනවා.

2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත සමුළුවට රටවල් 40ක් සහභාගී වීමට නියමිත වනවා.

බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුල් රසාක් හා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද මෙම සංචාරයේ දී සිදු කෙරුණු අතර දෙරට අතර බෝග හුවමාරුව,කෘෂි තාක්ෂණය හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

මෙහිදී ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් කිව් ඩොන්ගිව් සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles