“කිසිසේත්ම මේ මොහොතේ ඖෂධ හිඟයක් ඇතිවෙන්න ක්‍රමයක් නෑ” – චන්න ජයසුමන

බෙහෙත් සමග සමහරුන් දේශපාලනය කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

මේ මොහොත වන විට මෙරට තුළ කිසිදු ආකාරයක ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ඇත්තටම ඖෂධ අවශ්‍යතාව බැලුවහම, ගෙනල්ලා තියෙන තොග බැලුවහම කිසිසේත්ම මේ මොහොතේ හිඟයක් ඇතිවෙන්න ක්‍රමයක් නෑ. හැබැයි අපිට පේනවා බෙහෙත් එක්ක සමහරු දේශපාලනය කරනවා. මාධ්‍යවලින් ප්‍රසිද්ධිය ලබාගන්න, ප්‍රවෘත්තිවලට මුණ පෙන්න ගන්න විවිධ අය ඇවිල්ලා බෙහෙත් මෙච්චර නෑ කියලා ප්‍රකාශ නිකුත් කරනවා.

එක්කෙනෙක් 20යි කියනවා තව කෙනෙක් 30යි කියනවා. තව කෙනෙක් 50යි කියනවා. ඊට වඩා 100යි කිව්වොත් මාධ්‍යවලින් තැනක් ලැබෙන නිසා තරඟෙට බෙහෙත් නෑ කියනවා සංගීත පුටු තරඟයක් වගේ. නමුත් රටේ තියෙන හා නැති ඖෂධ පිළිබඳ අපි ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ.

අපේ අමාත්‍යාංශය දිනපතා ඒ ගැන සාකච්ඡා කරනවා. ජනතාවට අවම පීඩාවක් එන විදියට කටයුතු කරන්න අපි උපරිමයෙන් කටයුතු කරනවා.

හැබැයි බෙහෙත් නෑ නෑ කිය කියා යනකොට ඒකෙන් දේශපාලන වාසි ගන්නකොට මිනිස්සු කල්පනා කරනවා ඇත්තටම බෙහෙත් නෑ කියලා. අපිට ඕන බෙහෙත් මාස 6කට – 7කට ගෙනල්ලා තියා ගන්න ඕනේ කියලා. එහෙම ගියාම තමා බෙහෙත් ටික කෘතිම විදියට ඉවර වෙන්නේ.ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියා

POPULAR

Recent articles