“ඇමති ධුරයේ වගකීම් ඉටු කරනවා” – වාසුදේව නානායක්කාර

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ තමන් මීළඟ පාර්ලිමේන්තු දිනයේ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂය පැත්තේ බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) දිනයේ දී යි.

“දෙවෙනිදා පැවැත්වූ රැස්වීම කරනකොට ගෙන ඇමතිවරු දෙන්නෙක් අයින් කිරීම අපට අනුමත කළ නොහැකියි. ඒ නිසා ඒ පිළිබඳව විරෝධය දැක්වීමක් ලෙස මා කැබිනට් රැස්වීමට සහභාගී නොවී ඉඳීම අනුමත වුණා. නමුත් අමාත්‍යවරයෙක් හැටියට කළයුතු කටයුතු වලින් බැහැරවීම අපේ මධ්‍යම කාරක සභාව අනුමත කළේ නැහැ.

මම අමාත්‍යංශයට යනවා. අමාත්‍යවරයෙක් විදිහට කළයුතු වැඩ කටයුතු තිබෙන ඒවා ඉටුකරන්නට මට මධ්‍යම කාරක සභාවෙන් නියම කළා.

අපි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ ආණ්ඩු පක්ෂයේ. මම විතරක් නෙමෙයි, පක්ෂ එකොළහේ ඔක්කොම පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ ආණ්ඩු පක්ෂයේ අය හැටියට තමයි” යනුවෙන් ජල සම්පාදන අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර මහතා කියනවා.

එහෙත් පසුගිය 04 වනදා සිට තමන් අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත්වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා සිටියා.

ඒ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

POPULAR

Recent articles