“කුමන හේතුවත් මතවත් ඉල්ලා අස්වෙන්නේ නෑ” – ජනපති

ඊයේ (28) රාත්‍රිය දක්වා පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රස්වීම්මේදී ජනාධිපති සහ අගමැතිවරයා මොන හේතුවත් මතවත් ඉල්ලා අස්නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා. රට තුළ ඇතිව පවතින විවිධ විරෝධයන් සහ සාමාන්‍ය ජනතාවගේ අපහසුතාවයන් පිළිබඳව රැස්වීමට සහභාගී වූවන් යම් යම් කරුණු පැවසුවද අගමැති මහින්ද රාජපක්ෂද පවසා තිබුණේ කිසිසේත්ම තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

මේ හමුවට සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන හිටපු අමාත්‍යවරයෙකු පැවසුවේ රට තුළ පවතින බියකරු තත්වය පිළිබඳව රාජපක්ෂවරුන්ට කිසිඳු හැඟීමක් නැති බවයි.

“රට තියෙන්නේ බියකරු තත්වයක. අපි බලයේ ඉන්නවා වගේම බලය අත හරින්නත් සුදානම් වෙන්න ඕනේ. අපිට ගෙදර පලයව් කියලා මුළු රටක් කියනවා. අපි යන්නේ නැතුව බලය බදාගෙන ඉන්නවා. දැන් මිනිස්සු ලෑස්ති වෙන්නේ පන්නන්න. අපි ඊයේ දැක්කනේ රටේ තත්වය. අපිව බලයට ගෙනාපු වෘත්තීය සමිති පාරට බැහැලා කියනවා පලයව් කියලා. හැබැයි අපේ නායකයන්ට ඒ ගැන මෙලෝ හැඟීමක් නැහැ.

ඊයේ රෑ අපේ ගෘප් මීටිමෙදී අපි කිහිප දෙනෙක් මේ තියෙන තත්වය පැහැදිලි කරන්න හැදුවා. වැඩක් නැහැ, ඒක බීරි අලින්ට වීණා වයනවා වගේ. රාජපක්ෂවරුන්ට බලය නැතුව පවතින්න බැහැ. ඒ නිසයි ඊයේ රෑ ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය විදිහට ‘මම යන්නෙත් නැහැ, මම යන්නෙත් නැහැ’ කියලා රාජපක්ෂවරු අන්තිම තීන්දුව ප්‍රකාශ කළේ” යි එම හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවති හමුව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන තිබූ බවයි එම හිටපු අමාත්‍යවරයා පවසන්නේ. කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාද විවාද මැද මහා ගාලගෝට්ටියක් ලෙස බවයි ඔහු සඳහන් කළේ. අන්තර්වාර ආණ්ඩුව පිළිබඳව එකිනෙකාට චෝදනා එල්ල කරගන්නා අදහස් දෙපාර්ශවයකට බෙඳුණු මන්ත්‍රී කණ්ඩායමේ හුවමාරු වූ බව ඔහු පවසනවා.

අන්තර්වාර පාලනයක් අවශ්‍ය නැතැයි පවසමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරමින් පවසා ඇත්තේ ජනවරම ලබා දී ඇත්තේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට මිස අන්තර්වාර පිහිටවීමට නොවන බවයි. ඔහු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඍජුවම චෝදනා එල්ල කරමින පවසා තිබුණේ අගමැතිකම බලාගෙන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කුමන්ත්‍රණය කරන බවයි.

“මම කවදාවත් කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඒ නිසා මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා” යි මන්ත්‍රී ඩලස් පවසා තිබුණේ දැඩි ආවේගයකින්.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා තිබුණේ ජනාධිපතිකම අගමැතිකම ඉල්ලා අස්වීම් රාජපක්ෂ පවුලේ ප්‍රශ්නයක් බවයි .ඒ නිසා එය පවුල ඇතුලෙම විසඳා ගන්නා ලෙස ඔහු ඉල්ලා තිබෙනවා. එහිදී එතෙක් නිශ්ශබ්දව සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ “පවුලේ කතා අනවශ්‍යයි” යනුවෙන්.
ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම අමතමින් තදින්ම පවසා ඇත්තේ තමන් කිසිම් අවස්ථාවක අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස පවසා අනති බවයි. එලෙසම කිසිම මොහොතක ඉල්ලා අස්වැන්නයි කීමට හෝ ඇස කිරීමට තමන් සුදානම් නැති බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

අගමැතිවරයා පෙන්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන්ට සියල්ලටම වඩා තමන්ගේ සහෝදරයා ලොකු බවයි. තම කණ්ඩායමේ 113 දෙනෙකු අගමැතිවරයා සමඟ සිටීනම් කිසිම ගැටලුවක් නැති බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා. එසේ නොවී 113 ඇති වෙනත් අයෙකු සිටීනම් ගැටලුවක් ඇතිවිය හැකි බවයි ජනාධිපතිවරයා කියා ඇත්තේ.

“හරි බය වෙන්න එපා මට තාම 113 තියෙනවා කියලා අගමැති මහින්ද ඒ වෙලාවේ කිව්වා. එතකොට තිස්ස කුට්ටිආරච්චිලා අත්පුඩි ගැහැව්වා” යි ඊයේ දවස පිළිබඳව තොරතුරු ගෙනහැර දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසුවා.

POPULAR

Recent articles