යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘විරු අබිමන’ නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරන ‘විරු අබිමන’ නම් වූ නිවාස ණය යෝජනා ක්‍රමයේ සමාරම්භක වැඩසටහන අද (15) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැත්වුණා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව බව කියමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසහනෙන් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් අභිමානවත් ලෙස තම වෘත්තීවේ නියැලීම සඳහා යහපත් වාතාවරණයක් උදාකරලීමටත්, විශ්‍රාමික සාමාජිකයින් හට අභිමානවත් විශ්‍රාම දිවියක් ගත කිරීම උදෙසාත් තමන්ගේම නිවසක හිමිකරුවකු වීමේ සිහිනය යාථාර්ථයක් බවට පත් කිරීම අරමුණු කෙරෙන බවයි කියන්නේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා රුපියල් මිලියන 03 සිට මිලියන 15 දක්වා මෙම ‘විරු අබිමන’ නිවාස ණය යෝජනා ක්‍රමය හරහා ණය මුදල් ලබා ගත හැකියි. නව නිවසක් ඉදිකර ගැනීම, නිවාස අලුත්වැඩියාව, නිවසක් මිලදී ගැනීම, නිවසක් කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම සහ මහල් නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සඳහා ණය අයදුම් කළ හැකි බවයි කියන්නේ.

සහනදායී ස්ථාවර වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ණය මුදල ලබා ගත හැකි අතර තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව වයස අවුරුදු 70 දක්වා විශ්‍රාම වැටුපෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙන් අනුමත නිවාස සැලසුම් 05ක් යටතේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් නිවස ඉදිකර ගත හැකි අතර ඒ සඳහා තම රෙජිමේන්තුවෙන් වැඩ කණ්ඩායම් ලබා ගැනීමටද මෙම ණය පහසුකම ලබා ගන්නා ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවන බව පැවසෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව මහජන බැංකුව විසින් අදාළ ණය මුදල ලබා දෙන අතර දිවයිනේ ඕනෑම මහජන බැංකුවකින් ‘විරු අබිමන’ නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ඇති බව සඳහන් වෙනවා.

POPULAR

Recent articles