ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් දීමට නීතිමය බාධා

රටින් පැන ගොස් ඉල්ලා අස්වී දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

ඔහු තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ සහ වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීති තර්කය මත මෙම දැනුම්දීම කර තිබෙනවා.
හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් නන්ද සිල්වා මෑත දී මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි බවයි ඔහු කියන්නේ.

කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණිය හොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි බව දැනුම් දී ඇති අතර මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවද දැනුම් දී ඇතැයිද වාර්තා වෙනවා. ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම ඉක්මනින් මෙරටට පැමිණෙනු ඇතැයි පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසනවා.

“ඉතාම මෑත කාලයකදී එතුමා ලංකාවට පැමිණෙනවා. එතුමා ලංකාවෙන් ගිය තත්ත්වය අපි හැමෝම දන්නවානේ. එතුමා සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන් ගියේ. එතුමා නැවත එනවානම් එතුමාට නැවත ඒ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕනේ. මම හිතන්නේ අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරලා තියෙන්නේ. ඉතාම නුදුරු දිනයකදී ලංකාවට එයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” යි ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles