ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් හා ශ්‍රී ලංකාවේ තාරික් අහමඩ් !

ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් හා ශ්‍රී ලංකාවේ තාරික් අහමඩ් !

ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිළදාරියෙකු විසින් ගෙල සිරකිරීමෙන් මරා දමන ලද ජෝර්ජ් ෆ්ලොයිඩ් පිළිබඳ පුවත මේ වන විට සමස්ථ ලෝකයේ ම කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. මෙම සිදුවීමට එරෙහිව ඇමරිකාව තුළ කලු ජාතිකයින් පමණක් නොව සුදුජාතිකයින් පවා ලක්ෂ ගණනින් වීදි බැස තම විරෝධය පළ කර සිටියා. පසුගිය දින කිහිපය පුරාම ලෝකයේ බොහෝ මාධ්‍ය ආයතනවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සිදු වූ අසාධාරණය පිලිබඳ කතා පුවතයි. මෙරට බොහෝ මාධ්‍ය ආයතන පවා ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සහ ඊට එරෙහිව නැගෙන විරෝධතාවන්ට තම ගුවන් කාලයක් වැඩි ඉඩක් ලබාදුන් අයුරු අපට මතකයි.

කෙසේවෙතත් ඇමරිකානු පොලිසියේ අමානුෂිකත්වය පිළිබඳව උදම් ඇනූ මෙරට ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවලට මඟහැරුණු හෝ සිතාමතා මඟහරින ලද මෙරට පොලිස් නිළධාරීන්ගේ අමානුෂික ක්‍රියාවක් පිළිබඳව පුවතක් අපට අලුත්ගම දර්ගා නගරයෙන් වාර්තා වනවා. මෙම සිදුවීමට ජන මාධ්‍ය විසින් වැඩි අවධානයක් ලබා නොදුන්නත් මීට සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන් ගැනීම නිසා මේ පිළිබඳව කතාබහක් මේ වන විට සමාජය තුල ගොඩනැඟී තිබෙනවා.

තාරික් අහමඩ් යනු අලුත්ගම දර්ගා නගරයේ වෙසෙන දාහතර වියැති දරුවෙක්. ඔහු ඔටිසම් නමැති මානසික ආබාධයකින් පෙලෙන නිසා ඔහුට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි පැවසෙන්නේ. පසුගිය මැයි 25 වන දා සවස 5 ට පමන තාරික් තම පියාට නොදන්වා බයිසිකලයක නැඟී අසල පිහිටි වෙළෙඳසැලකට ගොස් තිබෙනවා. එහිදී දර්ගා නගරයේ පිහිටි අඹගහ මංසන්ධිය අසළ පොලිස් මුරපොළෙහි සිටි පොලිස් නිළධාරීන් තාරික්ව නවතා ප්‍රශ්න කොට ඇති අතර රෝගී තත්වය නිසා තාරික්ට හරිහැටි අදහස් ප්‍රකාශ කරගැනීමේ හැකියාවක් ලැබී නැහැ. මේ නිසා තාරික් බීමත් පුද්ගලයෙකු යැයි සිතූ පොලිස් නිළධාරීන් ඔහු අල්ලාගෙන දෑත් ගැටගසා අමානුෂික ලෙස ඔහුට පහර දී තිබෙනවා. පසුව සිදුවීම ආරංචි වී තාරික්ගේ පියා එම ස්ථානයට යන විට පොලිස් නිළධාරීන් දරුවාට පහර දී දෑත් ගැටගසා පොලිස් මුරපොලෙහි බිම දමා ඇති ආකාරයයි ඔහු දැක ඇත්තේ. තාරික්ගේ පියා පවසන පරිදි දරුවාව දකින ඕනෑම අයෙකුට ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව වැටහෙන අතර ඔහු මත්පැන් පානය කර සිටි බවට පොලිසිය පවසන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

සිදුවීමෙන් අනතුරුව ඒ පීළිබඳව පැමිණිල්ලක් කිරීමට තාරික්ගේ පියා දරුවාත් සමඟ අලුත්ගම පොලිස් ස්ථානයට ගොස් ඇති නමුත් පොලීසිය පැමිණිල්ල භාරගෙන නැති අතර එහි දී පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් තාරික්ගේ පියාට තර්ජනය කොට ඇත්තේ ඇදිරිනීතිය කඩකළ චෝදනාව මත ඔහුව දින දාහතරකට සිරගත කරන බවටයි. පසුව පියා පොලිසියත් සමග සමාදාන වූ බවට අත්සන් කොට දරුවාත් සමඟ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. සිදුවීමෙන් අනතුරුව තාරික් දැඩිලෙස අසනීපයට ලක්ව ඇති අතර ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීමට ද කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට සමාජයේ හෝ මාධ්‍යවල එතරම් අවධානයක් නොලැබුනත් මීට සම්බන්ධ සීසීටීවී වීඩියෝවක් නිකුත් වීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

මානසික රෝගයකින් පෙළෙන දාහතර වියැති දරුවෙකුට දෑත් බැඳ දමා පහරදීමෙන් පොලිස් නිළධාරීන් මේ ඔප්පු කරමින් සිටින්නේ අමානුෂිකත්වය අතින් ශ්‍රී ලංකා පොලිසිය ද ඇමරිකානු පොලිසියට දෙවන නොවන බවයි. නමුත් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ලැබුණු අවධානය ශ්‍රී ලංකාවේ තාරික් අහමඩ්ට නොලැබෙන්නේ ඔහු මුස්ලිම් ජාතිකයෙක් වීම නිසාදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනවා.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles