ලංකා ඉතිහාසයේ මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී සටහන් වී තිබෙනවා. 2020 වසරේ දෙසැම්බර් මාසදේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,527 හා සැසඳීමේ දී 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 2,241ක් වාර්තා වෙනවා. ඒ සියයට 46.8කින් සැලකිය යුුතු ලෙස ඉහළ යාමක් බවයි කියන්නේ. සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන වියදම්වල කැපී පෙනනෙ වැඩිවීමක් දක්නට ලැබෙන අතර අන්තර් භාණ්ඩ ආනයන ඒ සඳහා වැඩි වශයෙන් හේතු වෙනවා. 2021 වසරේ සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 20,637ක් වූ අතර, එය 2020 වසර තුළ වාර්තා වූ ඩොලර් මිලියන 16,055ක වියදමට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළෙඳ ගිණුමේ හිඟය 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 562ට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වන ඩොලර් මිලියන 1,085ක් දක්වා පුළුල් වී ඇති බවයි.

2021 වසරේ වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය ද 2020 වසර තුළ වාර්තා වූ ඩොලර් මිලියන 6,008ක හිඟයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 8,136ක් දක්වා පුළුල් වී තිබෙනවා. 2021 වසර තුළ වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීම සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනය සඳහා දරා ඇති ඩොලර් මිලියන 1,200.3 ක වියදම හේතුවක්.

මීට අමතරව රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන සඳහා ඩොලර් මිලියන 731.9 ක් සහ යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයන සඳහා ඩොලර් මිලියන 633.4 ක වියදමක් දැරීමට සිදුවීම ද 2021 වසරේ වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

POPULAR

Recent articles