තෙලිඟු ජනයාගේ කුසගින්නට ආහාර සපයන්නේ කවුරුන්ද ?

තෙලිඟු ජනයාගේ කුසගින්නට ආහාර සපයන්නේ කවුරුන්ද ?

කැකිරාව, බදුලු වැව, කියන්නෙ අපේ රටේ සංස්කෘතික විවිධත්වය මොනවට කියාපාන ඉතා රමණීය ප්‍රදේශයක්. වැවෙන් උපදින සීතල සුළං දහරා දසත විහිදී සුවය සැදුවත්, වැව් ඉස්මත්තේ කුඩා පැල්වත්වල ජීවත් වන තෙළිඟු ජනතාවගේ ජීවිතනම් ඒ තරම් සුවදායී නැහැ.

පවතින ඇඳිරි නීතිය හේතුවෙන් රටේ බොහෝ දුරබැහැර ප්‍රදේශවල දසදහස් ගණන් මිනිසුන් කැලේට කොලේට හැංගිලා දුක් විඳිනවා. ඉතින් තවත් එවන් පිරිසක් පිළිබඳ දුක්බර කතාවක් මේ.

කැකිරාව, බදුලු වැව ඉස්මත්තේ කුඩා පැල්පත් තනාගෙන මෙරට වෙසෙන තෙළිඟු ජනතාව තම එදිනෙදා වේල සොයාගන්නේ ගෙන් ගෙට ගොස් හඳුන්කූරු විකුණමින්, දර පලමින්, පිහියා මුවහත් තබමින්, ශාස්ත්‍ර බලමින් ආදී තමන්ටම ආවේණික වූ ජීවනෝපාය ක්‍රම මගින්.
එහෙත් පැතිර යන වයිරස තත්ත්වයත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය නිසා ඔවුන්ගේ එම ජීවනෝපායන් සියල්ල බිඳ වැටිලා.

මසකට අධික කාලයක් මේ තත්ත්වය පැවති නිසාවෙන් තම හැඳුනුම්පත්ද වෙළඳසැල්වල උකසට තබා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමටයි මොවුන්ට සිදුවෙලා තියෙන්නේ.

කුලී රැකියා කර එදා වේල සොයාගනිමින් බඩගෝස්තරය රැකගන්නා මොවුන්ට කඩහිමියන් තවදුරටත් භාණ්ඩ ලබා දීමට සූදානම් නැහැ.

පවුල් 14 ක, කුඩා දරුවන්ද ඇතුළුව පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් මෙම ප්‍රදේශයේ ජීවත්වන අතර මොවුන් පවසන්නේ තම දරුවන්ට කිරිපිටි පැකට් එකක් හෝ ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

ඇඳිරි නීතිය ඉවත් කළද මොවුන්ගේ ගම්මාන වන පුත්තලම, ආණමඩුව, වව්නියාව ආදී ප්‍රදේශවලට හෝ යාගත නොහැක්කේ සිය හැඳුනුම්පතේ උකස බේරාගැනීමට තරම්වත් වත්කමක් නොමැති වීම හේතුවෙන්.

ඉතින්, හඳුන්කූරු අලෙවි කර අනුන්ට සුවඳ බෙදුවද එතරම් සුවඳ නොවන මේ අසරණ මිනිසුන්ගේ ජීවිත ගැන කිසිවෙක් සොයා නොබලන්නේ ඇයිදැයි විශේෂයෙන් සොයා බැලිය යුතුයි.

කිසිදු රාජ්‍ය නිලධාරියකු මේ වන තෙක් රුපියල් පන්දහසේ සහනාධාරය හෝ කුඩා දරුවන්ට ත්‍රිපෝෂ පැකට්ටුවක්වත් ලබා නොදුන් පසුබිමක දී ගල්කිරියාගම පොලීසිය විසින් අවස්තා දෙකකදී මොවුන් සඳහා වියළි ආහාර ලබා දීමට කටයුතු කර තිබුණා.

අනුන්ගේ අත්ලවල රේඛා බලමින් ශාස්ත්‍ර කීවද තමන්ගේ ඉරණම කෙසේ විසඳේදැයි නොදත් මෙම අසරණයන් දෑස් දල්වා බලා සිටින්නේ තමන් පිළිබඳ මදකට හෝ රජය විසින් අවදානය යොමු කරනා තුරුයි.

ඉතින් මහත්වරුනි! නුඹලා මිලියන ගණනින් අරමුදල් රැස් කරන්නේ කුමකටදැයි මහජනයාට සැකසංකා මතුවීම සාධාරණ නොවේද? යුද්දෙට නැති කඩුවෙන් නුඹලා කොස් කොටන්නේදැයි අපිද අසන්නෙමු.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles