ඇමරිකාව, රුසියාවට අනතුරු අඟවයි

යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමග පැවති වීඩියෝ ඇමතුමකදී යි.

එමෙන්ම යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව ගනු ලබන තීරණ පිළිබඳව බටහිර රටවල් අවධානයෙන් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඔහු පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම වැනි තීරණයක් රුසියාව ගනු ලැබුවහොත් රුසියාව හුදකලා රාජ්‍යයක් බවට පවා පත් වීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති සමග පැවති මෙම වීඩියෝ ඇමතුමේදී රුසියානු ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවම ප්‍රකාශයට පත්වී නැහැ.

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති දුරකතන ඇමතුමකදී චෝදනා කර ඇත්තේ, අමෙරිකාව රුසියාවට එරෙහිව “ප්‍රචාරක ව්‍යාපාරයක්” ගෙන යන බවයි.

රුසියානු ආක්‍රමණය ඕනෑම දිනක ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව ඇමරිකාව දිගින් දිගටම අනතුරු අඟවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනයේ සිටින සිය පුරවැසියන්ට හැකි ඉක්මණින් එරටින් පිටව යන ලෙස ද ඇමරිකාව මේ වනවිට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් දේශ සීමා ආසන්නයේ 100 000 කට අධික භට පිරිසක් රැඳී සිටියද යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි රුසියාව යළිත් තහවුරු කර තිබෙනවා.

POPULAR

Recent articles