“මුදල් ඇමති නොකියන නිසා, රටේ මොනවා වෙනවාදැයි අපි දන්නේ නෑ” – ලක්ෂ්මන් කිරිඇල්ල

මුදල් ඇමැතිවරයා මැතිසබයට පැමිණ රටේ මූල්‍ය තත්වය ගැන කිසිම තොරතුරක් ලබා නොදෙන නිසා මන්ත්‍රීවරුන් විදියට රටේ මොනවා සිදුවෙනවාදැයි අප කිසිවක් නොදන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (09) පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනුයි.

එමෙන්ම මුදල් බලය පවතින්නේ පාර්ලිමේන්තුවට බවත් මුදල් ඇමැතිවරයා රටේ මූල්‍ය තත්වය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් බවත් ඔහු පවසා සිටියා.

රටේ ආර්ථික තත්වය ගැන දින දෙකක විවාදයක් ලබා දෙනමෙන් ඉල්ලීමක්ද මුදල් අමාත්‍යවරයාගෙන් කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ කටයුතු හොඳින් කරගෙන යන බවයි.

එමෙන්ම ඔබ තමුන්නාන්සේලා මොනව කීවත් රට නොවැටෙන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

පොඩි පොඩි දේවල් අල්ලගෙන චූන් නොවී දුරදිග බලා දේශපාලනය කරන ලෙස තමා කිරිඇල්ල මහතාගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යවරයා රටේ ආර්ථික තත්වය සුභවාදී තැනකට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කරගෙන යන බවද සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවා.

POPULAR

Recent articles