අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ වෙළෙඳපොළේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට ගෙන ඇති බවයි.

මේ අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

තව ද එළඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දී ඇත්තේ ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙසයි.

තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කූඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට හා තොග සැඟවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා එය නියාමනය හා අධීක්ෂණය නව කමිටුවට පැවරූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

POPULAR

Recent articles