රජය තවත් වියදම් අඩු කරයි

මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී තිබෙනවා.

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

මීට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන, විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය එම උපදෙස් මාලාවේ දක්වා තිබෙනවා.

POPULAR

Recent articles