“ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව බිත්තර ප්‍රහාරය අනුමත කරන්නේ නෑ” – ප්‍රසන්න රණතුංග

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජන බලවේගයේ (NPP) දිස්ත්‍රික් සමුළුවට ඊයේ (30) දින එල්ල කළ බිත්තර ප්‍රහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඔහු කියන්නේ මෙවැනි පහත් පෙළේ ක්‍රියා ප්‍රදේශයේ ජනතාව අනුමත නොකරන නිසා ඒ සිදුවීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවයි.

රැස්විමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට වෙන්වෙන්ව ලිපි දෙකක් යොමු කරමින් අමාත්‍ය ප්‍රසන්න ඉල්ලා සිටින්නේ.

අද (31) දිනැතිව එලෙස ලිපි යවමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අවධාරණය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ ඕනෑම ප්‍රදේශයක දේශපාලන රැස්විමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවයි. මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට හා ඊට අනුබල දුන් පුද්ගලයන්ට ද ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙස ද රණතුංග අමාත්‍යවරයා සිය ලිපි මගින් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “ඔබතුමා ඇතුළු අපේ ආණ්ඩුව පිළිබඳව තබා ඇති විශ්වාසය පළුඳු කිරීමේ අරමුණින් මෙවැන්නක් සිදුකර ඇත්දැයි මා තුළ දැඩි සැකයක් තිබේ” යනුවෙනි.

POPULAR

Recent articles