ගුවන් ගමන් ගිය ලොක්කන්ගෙන් ගුවන් හමුදාවට පොලු

2003 -2013 අතර කාලයේ හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ඉහල පෙලේ උදවියගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසින්. මේ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003- 2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙනවා. මේ දක්වාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් ගෙවා නැති බවයි කියන්නේ.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් කළ විමසුමකදී පවසා ඇත්තේ 2003- 2013 අතර කාලයේදී ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් පැවැත්වූ බවයි. ඒ විමර්ශනය අවසානයේදී අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට දැනටමත් බාරදී ඇති බව ඔහු කියනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2013-2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් අය විය යුතු තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි හිඟ මුදලකට අදාළව වාර්තාවක් මුදල් අමාත්‍යංශයට බාරදීම සඳහා මේ දිනවල පිළියෙල කරගෙන යන බවද ඔහු සඳහන් කරනවා. එම මුදල්, මුදල් අමාත්‍යාංශය විසින් අයකර ගනු ලැබ ගුවන් හමුදාවට නැවත බාරදිය යුතුව ඇති බවයි ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියන්නේ.

POPULAR

Recent articles