ඉහළ යන භාණ්ඩ මිල: මෙය විවිධ ජාතීන්ට බලපාන්නේ කුමන ආකාරයෙන් ද?

ලොව පුරා, ආහාර, ඉන්ධන වැනි මූලික පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යමින් පවතියි.

අස්වැන්න බාලවීම, වසංගතය, සහ ස්වාභාවික වායු හිඟය යන කරුණු සියල්ලම මීට හේතු වී ඇති නමුත්, සමහර රටවල් සහ කලාප විශේෂයෙන් පීඩාවට පත්ව තිබේ.

උප-සහරානු අප්‍රිකාව

උප-සහරානු අප්‍රිකාවේ බොහෝ පිරිසක් ආහාර පිසීම සඳහා ප්‍රධාන ඉන්ධන ලෙස ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG/ගෑස් සිලින්ඩර) භාවිත කරති. කෙසේ වෙතත්, මේ වන විට LPG මිල අධික ලෙස ඉහළගොස් තිබේ.

නයිජීරියාවේ සමහර ප්‍රදේශවල ගෑස්වල සිල්ලර මිල පසුගිය වසර පුරා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙයි.

Woman cooking with LPG gas from a cylinder
ඡායාරූප ශීර්ෂ වැකිය,LPG යනු අප්‍රිකාවේ ආහාර පිසීම සඳහා ජනප්‍රිය ඉන්ධනයකි

මේ නිසා බොහෝදෙනා LPG වෙනුවට දර, අඟුරු හෝ භූමිතෙල් වැනි මිල අඩු හා අපිරිසිදු ඉන්ධන වර්ග භාවිතයෙන් ආහාර පිසීමට යොමුව සිටියි. මෙය පරිසරයට පමණක් නොව ආහාර පිසීමේ යෙදෙන අයගේ පෙනහැලිවලට ද හානිකර ය.

තෙල් මිල ඉහළ යාම නිසා පොහොර මිල මෙන්ම, ගොවිපළවල සිට වෙළෙඳසැල්වලටත්, වෙළෙඳපොළවල්වලටත් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පිරිවැය ද ඉහළගොස් තිබේ.

NASAහි පෘථිවි නිරීක්ෂණාගාරයට අනුව බොහෝ අප්‍රිකානු රටවල අස්වැන්න අඩුවීමට වියළි කාලගුණය බලපා ඇති අතර, මිල ඉහළ යාමට එය ද හේතු වී තිබේ.

ඇන්ගෝලාවේ ආහාර මිල පසුගිය වසර තුළ 36.4%කින් ඉහළගොස් ඇතිබව එරට ජාතික සංඛ්‍යාලේඛන ආයතනය පවසයි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව මේ වන විට අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින් මිලියන 282ක් සිටියි.

ජීවන වියදම ඉහළ යාම නිසා මෑතක දී මලාවිහි පුළුල් මට්ටමේ රාජ්‍ය විරෝධී විරෝධතා ඇති විය.

තුර්කිය

පසුගිය දෙසැම්බරයේ දී තුර්කි ජාතිකයෝ දහස් ගණනක්, ඉහළ යන ජීවන වියදම්වලට එරෙහිව එරට ගිනිකොණදිග නගරයක් වන ඩියාර්බකිර්හි දී සහ ඉස්තාන්බුල්හි දී විරෝධතා පැවැත්වූහ.

තුර්කි සංඛ්‍යාලේඛන ආයතනයට (TSI) අනුව පසුගිය වසරේ උද්ධමනය 36%කින් ඉහළගොස් තිබේ. එරට ආහාර මිල වසර පුරා 44%කින් සහ දෙසැම්බර් මාසයේ දී පමණක් 14%කින් ඉහළගොස් ඇත.

ඉස්තාන්බුල්හි, පුද්ගලික වෙළඳසැල්වල මිලට පාන් මිල දී ගැනීමට නොහැකි නිසා, සහනාධාර මිලට ආහාර ලබා දෙන රජයේ බේකරි ඉදිරිපිට දහස් ගණනක් මිනිසුන් පාන් පෝලිම්වල සිටියි.

පාන් මිල ඉහළ යාමට, ඉන්ධන සහ පොහොරවල මිල ඉහළ දැමීම පමණක් නොව, ගොවීන්ගේ ආදායමට සහායවීම සඳහා තුර්කි රජය තිරිඟු සහ බාර්ලිවල අවම මිල ඉහළ දමා තිබීම ද හේතු වී ඇත.

People queue outside state-run bread shop in Turkey
ඡායාරූප ශීර්ෂ වැකිය,තුර්කියේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පාන් වෙළඳසැල්හි දහස් ගණනක් දෙන පෝලිම් ගැසී සිටිති

මිල ඉහළගොස් ඇත්තේ ආහාරවල පමණක් නොවේ. TSI ආයතනයට අනුව, 2021 දී බස්, දුම්රිය, සහ බෝට්ටු ගාස්තු 50%කට වඩා වැඩි වී ඇත. ගෘහස්ත විදුලි බිල මෙන්ම ගෑස් බිල්පත් ද පිළිවෙළින් 50%කින් සහ 25%කින් ඉහළගොස් තිබේ.

සාමාන්‍යයෙන් රජයන් විසින් පොලී අනුපාත ඉහළ දමා ඉහළ යන මිල පාලනය කිරීමට උත්සාහ කරයි. මෙමඟින් මුදල් ණයට ගැනීම දුෂ්කර වන අතර, මුදල් සංසරණයට එකතුවීම අවම වේ. කෙසේ වෙතත්, තුර්කියේ ජනාධිපති රිසෙප් එර්ඩොගන් මෙසේ සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඉහළ පොලී අනුපාත යනු “ධනවතුන් තවත් පොහොසත් කරන, දුප්පතුන් තවත් දුප්පත් කරන නපුරක්” බව පවසමිනි.

පසුගිය වසරේ දී, ජනාධිපතිවරයා තුර්කි මහ බැංකුවට නියෝග කළේ පොලී අනුපාත අඩු කරන ලෙස ය. මෙය තුර්කියේ මුදල් ඒකකය වන ලීරාහි වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 45%කින් පහත වැටීමට හේතු වූ අතර ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියේ ය.

ඉහළ යන මිල ගණන් සම්බන්ධයෙන් රජයේ විසඳුම වී ඇත්තේ අවම වැටුප 50%කින් වැඩි කිරීම යි. ඉස්තාන්බුල්හි ස්පින් කන්සල්ටින් මූල්‍ය ආයතනයේ ආරම්භකයෙකු වන ආර්ථික විද්‍යාඥ ඔස්ලම් ඩෙරිචි සෙන්ගල් අනතුරු අඟවන්නේ, වසන්තය වන විට තුර්කියේ උද්ධමන අනුපාතය 50% දක්වා ළඟාවනු ඇති බව යි.

ආයෝජන බැංකුවක් වන ගොල්ඩ්මන් සැක්ස් විසින් උද්ධමනය 40% – 50% දක්වා ඉහළ යනු ඇතැ යි පුරෝකථනය වී තිබේ.

බ්‍රසීලය

බ්‍රසීලයේ, පාරිභෝගික භාණ්ඩවල මිල වසරකට 10%කට වඩා ඉහළ යමින් පවතින අතර, ඉන්ධන මිල ද 50%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රසීල රජයේ භූගෝල විද්‍යා හා සංඛ්‍යාලේඛන ආයතනය (IGBE) පවසයි.

පසුගිය වසරේ දී ආහාර මිල 14%කින් ඉහළ ගිය අතර, දැඩි නියඟය නිසා සහල් සහ බෝංචි වැනි ප්‍රධාන ආහාර මෙන්ම සත්ත්ව ආහාර හිඟයක් ඇති විය.

ලොව වැඩිම ගවයින් ප්‍රමාණය සිටින්නේ බ්‍රසීලයේ වන නමුත්, පසුගිය වසර තුළ ගවමස්වල මිල බොහෝ සෙයින් වැඩි වී තිබේ. මෙනිසා ගවමස් මිල දී ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව ද 67%කින් පහත වැටී ඇති බව බ්‍රසීලයේ ඡන්ද විමසීම් සංවිධානය වන ඩේටාෆෝල්හා ආයතනය පවසයි.

Cattle herd walking up dirt road in Brazil
ඡායාරූප ශීර්ෂ වැකිය,වෙනත් ඕනෑම රටකට වඩා බොහෝ ගවයින් බ්‍රසීලයේ සිටියත්, ගවමස් මිල දී ගැනීමේ හැකියාව ඇත්තේ බ්‍රසීලියානුවන් කිහිප දෙනෙකුට පමණි

පසුගිය වසරේ නියඟය හේතුවෙන් බලශක්ති පිරිවැය ද ඉහළගොස් ඇත. බ්‍රසීලයේ බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන ජල විදුලි බලාගාර ජලය නොමැතිකම හේතුවෙන් වසා දැමීමට සිදුවූ අතර, මෙය පසුගිය වසරේ ගෘහස්ථ විදුලි ගාස්තු 1/5කින් ඉහළ යාමට හේතු වූ බව IGBE පවසයි.

බ්‍රසීලයේ ජීවන තත්ත්වය 2012 පසු වැඩිම ප්‍රමාණයකින් පහළ බැස තිබේ. පර්යේෂණ ආයතනයක් වන ජෙතුලු වාර්ගස් පදනම ඇස්තමේන්තුගත කරන්නේ මිලියන 213ක ජනගහනයකින් මිලියන 27.7ක ජනතාවක් මේ වන විට මසකට ඩොලර් 49ක (රු. 10,000ක් පමණ) නිල දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන බව යි.

ශ්‍රී ලංකාව

කොළඹ නිල පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව ආහාර මිල පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 20%ට වඩා ඉහළගොස් තිබේ. එයට හේතුව වී ඇත්තේ රජය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ මූල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටීම ය.

කොවිඩ් වසංගතය නිසා, සංචාරක ව්‍යාපාරයෙන් සාමාන්‍යයෙන් උපයා ගන්නා මුදල වසර දෙකක් තිස්සේ ඉපයීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් සංචිත ඉතා පහළ මට්ටමකට වැටී ඇත. රජයට ආහාර ආනයනය සීමා කිරීමට සිදුව ඇත්තේ, ඒවාට ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් වාණිජ බැංකුවලින් අවසන්ව යමින් පවතින බැවිනි.

Street market in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් ලෙස සිය ජනගහනය පෝෂණය කිරීම සඳහා ආනයනය මත දැඩි ලෙස රඳා පවතියි

මෙමඟින් වෙළඳසැල්වල භාණ්ඩ හිඟයක් ඇති වී ඇති අතර, සහල්, තිරිඟු පිටි, සහ කිරිපිටි වැනි බොහෝ ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළගොස් ඇත. කොළඹ පාරිබෝගික මිල දර්ශකය (CCPI)ට අනුව ආහාර පිසීම සඳහා ගන්නා ගෑස් මිල ද වසර තුළ දී 85%කින් වැඩිවී තිබේ.

වර්ධනය වන මහජන අප්‍රසාදය සමනය කිරීම සඳහා රජය ඩොලර් බිලියනයක සහන පැකේජයක් දියත්කර ඇති අතර, එයට රජයේ සේවකයින් සඳහා වැටුප් සහ විශ්‍රාම වැටුප් වැඩි කිරීමක් ද ඇතුළත් ය. එමෙන්ම එයින් සමහර ආහාර සහ ඖෂධ සඳහා වූ බදු ද ඉවත් කළ අතර, දුප්පත්ම පුරවැසියන් සඳහා ආධාර ලබා දීම ද සිදු කෙරේ.

ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ, රජයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත්, ආණ්ඩුව මීට පෙර පැවති ගැටලු සඳහා ලබාදුන් විසඳුම් හේතුවෙන් ද ප්‍රශ්න ගණනාවක් අලුතින් නිර්මාණය වී ඇති බවයි.

ජනතා විරෝධතා

BBC සිංහල වෙතින් උපුටා පළකරන ලදී

POPULAR

Recent articles