සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරඟ සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරඟ දිවියෙන් සමුගන්නා බව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 5 කදී නායකත්වය හොබවා ඇති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මේ වන විට 34 වැනි වියේ පසුවෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 68 කට ක්‍රීඩා කර ඇති ලක්මාල් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 168 ක්.

කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ලක්මාල් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරඟ දිවියේ සටහන් කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයක් වනවා.

එක්දින තරඟ 86 කට හා පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරඟ 11 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් පිළිවෙළින් කඩුලු 109 ක් සහ 8 ක් වශයෙන් දවා ගැනීමට සමත්ව සිටිනවා.

පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වීමට සමත්වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු ටෙස්ට් අංශයෙන් ලකුණු 928 ක් හා එක්දින තරඟ අංශයෙන් ලකුණු 244 ක් ලබාගෙන තිබෙනවා.

POPULAR

Recent articles