ක්‍රිකට් පරීක්ෂණ නතර කිරීම අසාධාරණයි – මහින්දානන්ද කියයි

ක්‍රිකට් පරීක්ෂණ නතර කිරීම අසාධාරණයි – මහින්දානන්ද කියයි

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන් බවට තමන් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් සිදුවූ පරීක්ෂණ කටයුතු නතර කිරීමට තීරණය කිරීම අසාධාරණ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
සාක්ෂි ප්‍රමාණවත් නොවන නිසා පරීක්ෂණ කටයුතු නතර කර දැමීමට තීරණය කල බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් සිදුකළ බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා පසුගිය දිනක පැවසුවේ 2011 ලෝක කුසලානය පාවා දීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු වූ දෙයක් බවයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අයිසීසී දූෂණ විරෝධී ඒකකය වෙත ලිපියක් එවූ බව ප්‍රකාශකර ඇතත් මේ වන තුරු තමන්ට එවැනි ලිපියක් ලැබී නොමැති බවයි.

එමෙන්ම 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය චෝදනාවක්නම් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී යම් සාවද්‍ය චෝදනාවක් කරන තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර අදාල පුද්ගලයා මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුයි.

POPULAR

Recent articles